පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැඟීමේ අභිලාෂය චීන සංස්කෘතික හර පද්ධතියේ අනන්‍යතාවයි
2023-09-18 14:46:32
Share with:

පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ චීනයේ අභිලාෂය හමුවේ ඇති දැවැන්ත පසුබිම චීන සංස්කෘතියේ සාර පද්ධතිය බව චරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන් කළමණාකරු වජිර ජයවර්ධන මහතා පැවසීය. විවිධ ජාතීන් අතර සමාන හිමිකම් සහිතව එක්ව නැඟී සිටීමේ අරමුණ චීනය වසර 5000කට පෙර සිට පුරුදු පුහුණු කරන ලද්දක් බව පෙනී යයි. බහුපාර්ශ්වික වෙළඳාම, අනන්‍ය ශිෂ්ටාචාර සහ සංස්කෘතික වෙනස්කම් සමග ගොඩනැඟීම මෙන්ම අවශ්‍ය සියළු අවස්ථාවලදී උපකාර කිරීමේ ජීවගුණය චීනය සතු උසස් වත්කමකි. එය ගෝලීය සංවර්ධන ගමනට මනා පිටුබලයක් සපයන බව ද වජිර ජයවර්ධන මහතා කියා සිටී.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හඳුන්වා දුන් පස් වැදෑරුම් ප්‍රතිපත්ති තුළ එරට අතීතයෙන් උගත් පාඩම් සහ පුරාණ දාර්ශනික ඉගැන්වීම් හි හරය කිසිසේත් බැහැර නොකරන ලද උදාර ගුණාංගය මුසුව තිබේ. මිත්‍රශීලී ප්‍රතිපත්තිය ඔස්සේ ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගන්නා චීනය සහජීවනය, අනාගතය එක්ව බෙදා හදා ගැනීම මෙන්ම සුහද සංවාදයෙන් ගැටුම් නිරාකරණයට මග සෙවීමේ ප්‍රවේශය නිරන්තරයෙන් භාවිත කරන බව ද දක්නට ලැබෙන බව ඔහු පැවසීය.

ලෝක අර්බුද හමුවේ චීනය සෑම විටම සියළු ප්‍රජාවන්ට සාධාරණ වූ ප්‍රතිඵලයක් උදෙසා සිය මතය ඉදිරිපත් කරනු දක්නට ලැබේ. යුක්රේන යුද්ධයේ අනිටු විපාක සහ රසායනික අවි භාවිතය සඳහා බටහිර නැඹුරුව ‍මෙන්ම, වර්තමානයේ උද්ගතව ඇති ජපාන න්‍යෂ්ටික අප ජලය මුහුදට බැහැර කිරීමේ බලවේගය හමුවේ චීනය ඊට එරෙහිව ජනතාවාදී අඛණ්ඩ ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කරමින් සිටී. චීනයේ මේ දැක්ම සෑමවිටම සියළු ප්‍රජාවන් උදෙසා සමාන හිමිකම් ලැබිය යුතුය යන සිය චීන ශිෂ්ටාචාර උරුමයේ පදනමේ සිට ගොඩනැඟී ඇති බව වජිර ජයවර්ධන මහතා සඳහන් කළේය.

විවිධ ආගම්වලට ගරු කරමින් විවිධ ජාතීන් එක්ව ස්වභාවධර්මයට අනුගතව ගෙවන සරල දිවි පැවැත්ම සහ අතීතයේ පටන් පැවත එන දියුණු කලා උරුමයක් චීනය සතුය. එම අසිරිය මත පදනම් වූ සම්ප්‍රදායේ සහ නූතනත්වයේ අද්විතීය සම්මිශ්‍රණයෙන් ගෝලීය අවකාශය තුළ චීන අනන්‍යතාව ඉහළින්ම සළකුණු කර ඇතැයි චරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන් කළමණාකරු වජිර ජයවර්ධන මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම