"එක් තීරයක් එක් මාවතක්" යෝජනාව ඉදිරිපත් කිරීමේ 10 වැනි සංවත්සරය සහ "සේද හරසර" රූපවාහිනී වැඩසටහන විකාශය කිරීමේ 5 වැනි සංවත්සරය කොළඹ දී සැමරේ
2023-09-15 12:51:29
Share with:

චීන මාධ්‍ය සමූහයේ ආසියා සහ අප්‍රිකා භාෂා වැඩසටහන් මධ්‍යස්ථානය කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපය සමග සහයෝගීත්වයෙන් "එක් තීරයක් එක් මාවතක්" යෝජනාව ඉදිරිපත් කිරීමේ 10 වැනි සංවත්සරය මෙන්ම "සේද හරසර" රූපවාහිනී වැඩසටහන විකාශය කිරීමේ  5 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ විද්වත් සංවාදයක් කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණ.  ප්‍රධාන ආරාධිතයන් ලෙසට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ  ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Zhu Yanwei මහතා එක්වූහ.

"සේද හරසර" රූපවාහිනී වැඩසටහන විකාශය කිරීමේ 5 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබිණ. "සේද හරසර" රූපවාහිනී වැඩසටහන හරහා දෙරටේ ජනතාව සමීප කරවීමට දැක්වූ කැපවීම එම සුබ පැතුම් පණිවිඩය මගින් ඉහළින් අගය කෙරේ.

මෙම උත්සවය "හදින් හද බැ‍ඳෙන පොදු අනාගතයක්" යන තේමාව කේන්ද්‍ර කර ගනිමින්, "එක් තීරයක් එක් මාවතක්" සංස්කෘතික හුවමාරුව සඳහා මාධ්‍ය සහයෝගීතාවයේ වැදගත්කම සහ "එක් තීරයක් එක් මාවතක්" ඒකාබද්ධ සංවර්ධනයෙන් ගෝලීය ආර්ථිකයට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණ.

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය සුගත් සෙනරත්, ක්වාලාලම්පූර් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සමිත හෙට්ටිගේ, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, ජ්‍යේෂඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි යන මහත්වරු ප්‍රධාන දේශන පැවැත්වූහ. විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු, මාධ්‍යවේදීහූ, විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයෝ රැසක් ඊට එක්වූහ.

එහිදී ප්‍රධාන දේශනය සිදුකළ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක් තීරයක් එක් මාවතක් වැඩසටහන හරහා ශ්‍රී ලංකාවට දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක් ලැබී ඇතැයි පැවසීය. වරාය නගරය මෙන්ම හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවට ලැබුණු විශාලතම විදේශ ආයෝජනයන් බවද හෙතෙම කියා සිටී. ශ්‍රී ලංකාවේ සංවර්ධනය නැංවීම සඳහා තවදුරටත් චීන ආයෝජන ආකර්ශණය කර ගැනීමේ වැදගත්කම ද හෙතෙම පෙන්වා දුන්නේය.

උත්සවය ඇමතූ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශ ප්‍රධානී ආචාර්ය සුගත් සෙනරත් මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ සංකල්පයකට අනුව ක්‍රියාත්මක එක් තීරයක් එක් මාවතක් වැඩසටහන පැරණි සේද මාවතේ ජීව ගුණයන් සහිතව ඉදිරියට ගමන් කරන ව්‍යාපෘතියක් බව  සඳහන් කළේය.

ක්වාලාලම්පූර් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා පැවසුවේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් බලපෑම් සහගත ව්‍යාපෘතියක් බවත් එම වැඩසටහනෙන් පොදු ජයග්‍රාහී ප්‍රතිලාභ අත්කර ගැනීමට ශ්‍රී ලංකාව නව ප්‍රවේශයකින් ඉදිරිපත් විය යුතු බවත්ය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා අදහස් දක්වමින් රටවල් අතර ජනතාව අතර ඒකාබද්ධව ප්‍රවර්ධනය කෙරෙන වැඩසටහනක් ලෙසට එක් තීරයක් එක් මාවතක් වැඩස‍ටහන හැඳින්වීය. මෙම ඒකාබද්ධතාව ආර්ථික සංවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක් බවද හෙතෙම සඳහන් කළේය.

උත්සවය ඇමතූ ජ්‍යේෂඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා එක් තීරයක් එක් මාවතක් වැඩසටහන සම්බන්ධයෙන් ඇතැම් අය දක්වන්නේ පදනම් විරහිත අනියත බියක් බව කීය. මෙම වැඩසටහන සාමුහික ප්‍රවේශයක් බවද හෙතෙම සඳහන් කළේය.



ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම