ජනපති 21 වැනි දා ජගත් මහ සමුළුව අමතයි
2023-09-14 18:35:34
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය ලබන 21 වැනි දා ඇමතීමට නියමිතය.

“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය සහ ප්‍රගතිය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගිතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ ලබන 18 සිට 21 වැනිදා දක්වා සමුළුව පැවත්වෙයි.

එසේම ජනාධිපතිවරයා, 2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාම සඳහා ලෝක නායකයන් විසින් මාර්ගෝපදේශ සපයනු ලබන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව අමතා විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.

මීට අමතරව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් කැඳවා ඇති “දේශගුණික අභිලාෂ පිළිබඳ සමුළුව” ද ජනාධිපතිවරයා විසින් ඇමතීමට නියමිතව තිබේ. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මත පදනම් වූ, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ගෝලීය ආර්ථිකයක් සඳහා වන වේගවත් පරිවර්තනයක් වෙනුවෙන් වැදගත් දේශපාලනික සන්ධිස්ථානයක් මෙමගින් අපේක්ෂා කෙරේ.

සංවර්ධනය සඳහා වන මූල්‍යකරණය පිළිබඳ ‘ණය තිරසරභාවය ඇති කිරීම සහ ගෝලීය මූල්‍ය ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම’ යන මැයෙන් පැවැත්වෙන ඉහළ පෙළේ රැස්වීමේ ප්‍රධාන දේශනය ද වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනු ඇත.

නිව්යෝර්ක් සංචාරය අතරතුර ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා සහ අනෙකුත් සාමාජික රටවල රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම