ආර්ථික ප්‍රශ්න දේශපාලනීකරණය නොකරන්නැයි චීන අගමැති ඉල්ලා සිටී
2023-09-08 10:39:52
Share with:

ආරක්ෂාව පිළිබඳ සංකල්පය අභිභවා, ආර්ථික ප්‍රශ්න දේශපාලනීකරණය කිරීමට එරෙහිව සමස්ත ලෝකයම එක්ව විරෝධය දැක්විය යුතු බව චීන අගමැති ලී ච්‍යං මහතා කියාසිටී. අගමැතිවරයා මේ බව කියාසිටියේ, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී ජගත් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්  මහතා හමු වූ අවස්ථාවේ  ය.

ආසියානු සහයෝගිතාව පිළිබඳ නායකයන්ගේ රැස්වීම්වලට සමගාමීව එම හමුව පැවැත්විණ.

වර්තමාන ලෝකය නිරන්තර විපර්යාස හා අක්‍රමිකතාවලට මුහුණදෙමින් සිටී. මේ තත්ත්වය බරපතල වන තරමට ජාත්‍යන්තර ප්‍රජාව එක්සත් ව ක්‍රියා කළ යුතු බව චීන අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය. ගෝලීය ආර්ථික පරිපාලන පද්ධතියේ ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමේ හා ජාත්‍යන්තර මූල්‍ය ආයතන තුළ, සංවර්ධනය වෙමින් පවතින රටවල නියෝජනය ඉහළ නැංවීමේ අවශ්‍යතාව  හෙතෙම අවධාරණය කළේය.

සංවර්ධනය වෙමින් පවතින රටවල ණය ප්‍රශ්නය ඒකාබද්ධ ක්‍රියාමාර්ග ඔස්සේ විසඳීමට එක්වන ලෙස ද චීන අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතාව ඉදිරියට පවත්වා ගත යුතු බව ද ඔහු කියාසිටී.

මෑත වසරවල දී චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාරයේ මුලපිරුම යන වැඩසටහන් ගෝලීය සංවර්ධනය සහ පාලනය සඳහා චීන විසඳුම් සපයා ඇත.

ජාත්‍යන්තර කටයුතුවල කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කිරීම සඳහා චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අඛණ්ඩව සහයෝගය දක්වන බවත්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීමට සූදානම් බවත් ලී ච්‍යං මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා මෙහිදී කියාසිටියේ, 2030 සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමේ දී චීනය දක්වන සක්‍රිය දායකත්වය බෙහෙවින් අගය කරන බවයි. එසේම, චීනය සහ ජගත් සංවිධානය අතර පවතින විවිධ සහයෝගිතා අඛණ්ඩව ඉදිරියට රැගෙන යන බව ද මහලේකම්වරයා පැවසීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම