සිය ශිෂ්ටාචාරගත සම්ප්‍රදායන් සුරකිමින් චීනය අනාගත සංවර්ධනයට ප්‍රවේශ වී ඇත- බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක
2023-09-01 11:36:08
Share with:

මිනිසාගේ පරිණාමය සිදු වූ දා සිට, එනම් ගල් යුගයේ සිට ඩිජිටල් යුගය දක්වා ලොව විවිධ ශිෂ්ටාචාර බිහි වී ඇත. ඒ අතරින් ප්‍රධානම සහ වැදගත් ශිෂ්ටාචාරයක් ලෙස චීන ශිෂ්ටාචාරය හැඳින්විය හැකිය. එමගින් ඓතිහාසික මෙන්ම සංස්කෘතික වශයෙන් ලොවට ලැබුණු දායාද අපමණය. එසේම, චීනය රටක් ලෙස මේ වන විට ඩිජිටල් යුගය අතික්‍රමණය කරමින් එහි හිනිපෙත්තටම ළඟා වී සිටී. ඒ චීන ජාතිකයන්ගේ කැපවීම, අධිෂ්ඨානශීලී බව, සැලසුම් සහගත බව සහ නිවැරදි නායකත්වය තුළිනි. වර්තමානයේ ඒ වෙනුවෙන් නිවැරදි නායකත්වය චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලබා දෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතිනුයේ සහෝදර මෙන්ම මිත්‍රශීලී සබඳතාවකි. වසර ගණනාවක් තිස්සේ පැවති මෙම සම්බන්ධතාවයේ දී දෙපාර්ශ්වයම එකිනෙකා වෙනුවෙන් සහයෝගී ව කටයුතු කර ඇත. එමෙන්ම සේද මාවත ඔස්සේ චීන සංචාරකයන් සහ ගවේෂකයන්ගේ ආගමනය සිදුව ඇති බව ඓතිහාසික සාක්ෂිවලින් ද සනාථ වේ. මෙලෙස ඇරඹුණු චීන-ශ්‍රී ලංකා සම්බන්ධතාව වර්තමානයේ ද ඉතා ශක්තිමත්ව පවතී. එමෙන්ම 1950 දශකයේ දී දෙරට අතර දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ද පසුව ආර්ථික සබඳතා ද වර්ධනය විය. වර්තමානයේදී එය සංස්කෘතික, ආගමික සහ පුරාවිද්‍යාත්මක ගවේෂණ යනාදී අංශ දක්වා පුළුල් වී ඇති අතර දෙපාර්ශ්වයට සිය කලා කෞශල්‍යයන් හුවමාරු කර ගැනීමට ද හැකියාව ලැබී ඇත. සැබැවින්ම එහිදී හුවමාරු වන්නේ උසස් සංස්කෘතීන් දෙකක ඇති වටිනාකම්, හර පද්ධතීන් සහ දායාදයන් ය. මෙය දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල ගෙන දෙන්නකි.

එමෙන්ම චීනය විසින් ආරම්භ කර ඇති ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ මගින් දෙරට සබඳතා තවදුරටත් ශක්තිමත් වී ඇත. මෙහි විශේෂත්වය වනුයේ සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනයට ද එමගින් අවස්ථා නිර්මාණය වීම බව ද අමාත්‍යවරයා පෙන්වාදෙයි.

සිය ශිෂ්ටාචාරගත සම්ප්‍රදායන් සුරකිමින් චීනය අනාගත සංවර්ධනයට ප්‍රවේශ වී ඇත. ඒ වෙනුවෙන් ක්‍රියාකරන චීන රජයට මෙන්ම ජනතාවට ද සිය සුබ පැතුම් පිරිනමන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් කියාසිටී.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම