රාජ්‍ය පාලන කටයුතුවල දී පුරාණ චීන ප්‍රඥා සම්භාරය ගුරුකොට ගන්නා චීනය
2023-09-01 14:18:46
Share with:

චීනය සිය ශිෂ්ටාචාරය, සංස්කෘතිය මෙන්ම සදාචාරාත්මක වටිනාකම් ඉහළින් සලකන රාජ්‍යයකි. ඊට හේතුව වසර 5000 කට අධික කාලයක් තිස්සේ ක්‍රමිකව ගොඩනැගුණු ප්‍රබල ශිෂ්ටාචාරයක් ඔවුන් සතු වීම බව ප්‍රවීණ නීතිවේදිනී ශ්‍යාමා නානායක්කාර මහත්මිය කියාසිටී. විශේෂයෙන් රාජ්‍ය පාලනයේ දී චීන නායකයා චීන ශිෂ්ටාචාරය  ආරක්ෂා කරමින් අතීත සම්ප්‍රදායන් මත පිහිටා ක්‍රියා කළ බව සත්‍යයකි.

වර්තමානයේ පවා චීනය රාජ්‍ය පාලන කටයුතුවල දී පුරාණ චීන ප්‍රඥා සම්භාරය ගුරු කොට ගැනීම නිරීක්ෂණය කළ හැකිය.  චීනයේ මහා දාර්ශනික කොන්ෆියුසියස් තුමාගේ ඉගැන්වීම් චීනයේ ක්‍රියාකලාපය තුළ මැනැවින් හඳුනාගත හැකි බව ඇය පෙන්වා දෙයි.

"ඔබ නතර නොවන තාක්, කෙතරම් සෙමින් ගියත් කමක් නැත." 

චීනය සිය සංවර්ධන චාරිකාව පෙරට රැගෙන ආවේ ශතවර්ෂයක් තිස්සේ දැඩි ඉවසීමකින් හා  කැපවීමකිනි. චීනය බොහෝ අවදීන්වල විවිධාකාර අර්බුදවලට  මුහුණ පෑ රාජ්‍යයකි. ඒ කිසිවක් හමුවේ නොසැලුණු චීන බලධාරීන් හා චීන ජනතාව කොන්ෆියුසියස් තුමාගේ මෙම ඉගැන්වීම මනාව ප්‍රත්‍යක්ෂ කර සිටින බවක් පෙනේ. සාර්ථකත්වය වෙනුවෙන් යන ගමන කුමන අභියෝගය හමුවේ වුව ද ඔවුන් නතර කළේ නැත.

"සාර්ථකත්වය රඳා පවතින්නේ පෙර සූදානම මත යි. එවැනි සූදානමකින් තොරව, අසාර්ථක වීම අනිවාර්ය වේ. ඉලක්ක කරා ළඟා විය නොහැකි බව පැහැදිලිව පෙනෙන විට ඉලක්ක සකස් නොකොට ඒ වෙනුවට ක්‍රියා පියවර සකස් කරන්න.”

චීන බලධාරීන් තම රට මේ සා සංවර්ධනීය අදියරක් කරා රැගෙන ආවේ අතිශය සැලසුම් සහගත වැඩපිළිවෙළක් ඔස්සේ යි. කොවිඩ් වසංගතය වැනි අවස්ථාවක චීනය ක්‍රියා කළේ කොන්ෆියුසියස්තුමා ඉදිරිපත් කළ මේ උපදේශයට යම් තාක් සමාන ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමිනි. සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම මෙන්ම එම අවස්ථාවේ ජන ජීවිත සුරක්ෂිත කිරීමේ වැදගත්කම අවධාරණය කළ වත්මන් චීන නායක ජනාධිපති ෂී ජින්පිං මහතා සහ කොමියුනිස්ට් බලධාරීහු ඒ වෙනුවෙන් කාලීන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නැංවූහ. ඔවුන්  වසංගතය මැඩපවත්වා ගත්තේ එකී පියවර ඔස්සේ යි.

“ විශිෂ්ටත්වය යනු තනිව රැඳීසිටින දෙයක් නොවේ.”

පොදු ඉරණම සහිත ප්‍රජාවක්, චීනය විදෙස් රටවල් හා පවත්වන සහයෝගී ප්‍රතිපත්තිය තුළ මනාව අන්තර්ගත වේ. සාර්ථකත්වය උදෙසා ජාත්‍යන්තර හුවමාරු පුළුල් කළ යුතු බව,  ලොව සියලු දෙනා සංවර්ධනය සාක්ෂාත් කළ යුතු බව, බහුපාර්ශ්විකත්වය මෙන්ම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව වැනි චීන ජනාධිපතිවරයා ගෙන ආ ප්‍රබල සංකල්ප රැසක මේ ඉගැන්වීම පිළිබිඹු වන බව ද නානායක්කාර මහත්මිය කියාසිටී.

 “හරි දේ දැකීමට සහ වැරදි දේ නොකිරීමට අවශ්‍ය වන්නේ ධෛර්යය හෝ ප්‍රතිපත්ති පමණකි.”

ලෝක අර්බුද හෝ මතභේදාත්මක අවස්ථාවන් හි චීනය නිවැරදි මතයක රැඳී සිටිනවා මිස පටු ප්‍රතිලාභ උදෙසා පෙනී නොසිටී. යුක්රේන අර්බුදය, දේශගුණ විපර්යාස හමුවේ ලොව රටවලට පැවරෙන කාර්යභාරය, ෆුකුෂිමා න්‍යෂ්ටික අපජලය ජපානය විසින් මුහුදට මුදාහැරීම වැනි නිදසුන් කිහිපයකින් වුව මෙය පෙන්වා දිය හැකිය. ඒ සෑම අවස්ථාවකම චීනය තම ස්වාධීන මතය ලොව හමුවේ ගෙන හැර පෑවේය.

රටක සැබෑ සංවර්ධනය සාක්ෂාත් කළ හැක්කේ එම භූමියෙන්ම නිපන් ශිෂ්ටාචාරගත වටිනාකම් බැහැර කරමින් නොවේ. ඒවා ඇසුරෙන් සකසා ගත් නවීකරණ ක්‍රමවේද සංවර්ධන ගමනේ දී අතිශය වැදගත් බව චීනය ලොවට මනාව ප්‍රත්‍යක්ෂ කර ඇතැයි ද නීතිවේදිනී ශ්‍යාමා  නානායක්කාර මහත්මිය ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම