ලෝකයේ නොනැසී වර්තමානය තෙක් අඛණ්ඩව පැවත එන ශිෂ්ටාචාරය චීන ශිෂ්ටාචාරයයි
2023-08-30 16:09:25
Share with:

චීනය යනු වසර 5000ක පමණ ඉතිහාසයක් සහිත චීනයටම ආවේණික වූ ඉතිහාසයකින්, සංස්කෘතියකින් හා සම්ප්‍රදායන්ගෙන් ඉතා පොහොසත් වූ රාජ්‍යයකි. එමෙන්ම තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ චීන ජාතිකයන්ගේ අනන්‍යතාව චීන ජාතික රාජ්‍ය යන සංකල්පයට පමණක් සීමා නොවී ශිෂ්ටාචාර අතීතයටම දිව යාමයි. ඒ අනුව ලෝකයේ නොනැසී අඛණ්ඩව ඒ ආකාරයෙන්ම වර්තමානය තෙක් පැවත එන ශිෂ්ටාචාරය ලෙස චීන ශිෂ්ටාචාරය හැඳින්විය හැකි බව විදේශ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනී, නීතිඥ සුලෝ විජයසිංහ මෙනවිය පවසයි.

වර්තමානය වන විට චීනය ආර්ථික සංවර්ධනය හා තාක්ෂණික සංවර්ධනය අතින් ඉතාම දියුණුවට පත්වෙමින් සිටී. තමන්ටම ආවේණික වූ ක්‍රමයකට තම රටේ සංවර්ධනය හා නවීනත්වය ළඟා කරගනිමින් සිටීම විශේෂ ලක්ෂණයකි. ලෝකයේ බහුතරයකගේ මතය වන්නේ රටවල් නවීකරණය වීම යනු තම රටවල් බටහිර රටවල් ආකාරයට සැලසුම් කිරීම වන බවයි. චීනය නවීකරණය හා සංවර්ධනය කරා යන ගමනේදී තම රටට ආවේණික සම්ප්‍රදායන්, සංස්කෘතිය හා ඇතැම් ආයතන ව්‍යූහයන්ද එම නවීකරණය ක්‍රියාවලියට ඇතුළත් කිරීමට චීනය අමතක කර නොමැති බව නීතිඥ සුලෝ විජයසිංහ මෙනවිය කියා සිටී.

ඇතැම් විද්වතුන් පවසන්නේ චීනය නවීන රටක් ලෙස සංවර්ධනය වීමේදී කොන්ෆියුසියස් දර්ශනය මගින් ලැබෙන මඟ පෙන්වීම ද අමතක කර නොමැති බවයි. 19 හා 20 වැනි සියවස් වල යුරෝපීය හා බටහිර ජාතීන් බලවතුන් ලෙස නැගී සිටීමට පෙර චීනය ලෝකයේ බලවත් අධිරාජ්‍යක්ව පැවතියත් චීනය තම අසල්වාසී රටවල් සමග තමන්ටම ආවේණික සම්ප්‍රදායන්ට අනුව මිත්‍රශීලී සබඳතා පවත්වා තිබීම ඉතාම සු‍විශේෂ කරුණකි. නිදසුනක් ලෙස ඇතැම් ඉතිහාසඥයින් පෙන්වා දෙන්නේ 15වැනි සියවසේ මුල් භාගයේ චීන අධිරාජයා සතුව පැවති නාවුක බලය ලෝකයේ බලවත්ම නාවුක බලඇණිය වුවත් එය ලෝකයේ වෙනත් රටවල් යටත් කිරීමට හෝ ආක්‍රමණය කිරීමටත් යොදා නොගත් බවයි. ඉතිහාසය පුරා පැවත එන චීන ශිෂ්ටාචාරය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මිලිටරිකරණය, රටවල් ආක්‍රමණය කිරීම හා රටවල් යටත් විජිත ලෙස තබා ගැනීම චීන ශිෂ්ටාචාරයේ ලක්ෂණයක් නොවන බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වූ ක්‍රිෂෝර් මභුබානි මහතා ද ප්‍රකාශ කර ඇත. එබැවින් චීනය අසල්වැසි රටවල් සමග මිත්‍රශීලීව කටයුතු කිරීම වර්තමානයේ මෙන්ම අනාගතයේ ද සිදු කරනු ලැබීමට සිය සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය විසින් පුහුණු කර ඇති  බව  විදේශ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනී, නීතිඥ සුලෝ විජයසිංහ මෙනවිය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම