ප්‍රබල ශිෂ්ටාචාරයක පදනම මතින් අනාගත සංවර්ධනය සාක්ෂාත් කරන චීනය
2023-08-29 17:17:09
Share with:

තම රට සතුව වටිනා ශිෂ්ටාචාරයක් ඇතැයි උදම් අනමින් සිටීමෙන් පමණක් කිසිදු අනාගත ප්‍රතිලාභයක් උදාකර ගත නොහැකිය. වසර ගණනාවක් තිස්සේ වැඩී වර්ධනය වූ ප්‍රබල ශිෂ්ටාචාරයක් මත හිඳිමින්, එය නවීන යුගයට ගැලපෙන සේ සකසාගෙන තමනට අනන්‍ය සංවර්ධනයක් වූ සාක්ෂාත් කිරීම කෙතරම් ප්‍රායෝගික ද යන්න මනාව පිළිබිඹු කළ රාජ්‍යය චීනය බව,   ‘මහජන චීනය’ ද්වි මාසික සඟරාවේ ප්‍රධාන සංස්කාරක, ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ලාල් කුමාර  මහතා කියාසිටී.

චීනයත්,  චීන ශිෂ්ටාචාරයත් යනු දෙකක් නොවේ. එහි පවතින්නේ එතරම්ම අවියෝජනීය බැඳීමකි. චීනය සතු සියලු අනන්‍යතා, එරට ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය පදනම් කර ගනිමින් ගොඩනැගී තිබේ. වසර 5000 කට අධික අතීතයක් හිමි  රටකට එම වටිනාකම් සියල්ල පසෙක ලා බාහිරින් ගත් සංවර්ධන මොඩල කිසිසේත් නොගැලපෙන බව චීන බලධාරීන් මනාව පසක් කර තිබීම ප්‍රශංසනීය කරුණකි. වරක් 2021 වසරේ ෆුජියැන් පළාතේ කළ නිරීක්ෂණ චාරිකාවක දී  වත්මන් චීන නායක ෂී ජින්පිං මහතා රාජ්‍ය පාලනය හා සංවර්ධනය උදෙසා සුදුසු ම සහ නිවැරදි ම මාවත හෙළි කර ගැනීම පිළිබඳව කළ ප්‍රකාශයක් මෙහිදී විමසා බැලීම වටී.

"වසර 5,000 ක චීන ශිෂ්ටාචාරයෙන් බැහැර ව, චීන ලක්ෂණ ගොඩනැගිය නොහැකිය. වර්තමානයේ අප අනුගමනය කරන චීන ලක්ෂණ සහිත සමාජවාදයේ සාර්ථක මාවත අප සතු අනන්‍යතා නොසලකා කිසිසේත් මතු කර ගත නොහැකි වනු ඇත"

මේ පදනම මත පිහිටා නවීන චීන ශිෂ්ටාචාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ජනාධිපති ෂී ජින්පිං මහතා සෑමවිටම අවධාරණය කරයි. චීන නායකයා පිළිබඳව තමා රචනා කළ “මහජන චීනයේ අමරණීය ජනාධිපතිවරයාගේ මෙතෙක් නොකිය වූ ජීවන චරිතය - ෂී ජින්පිං”   ග්‍රන්ථය සඳහා කළ පර්යේෂණවල දී  ඔහුගේ දැක්ම තුළ අන්තර්ගත වූ මෙම සංකල්පයේ පෘථුල භාවය අධ්‍යයනය කළ හැකි වූ බව ද සරත් ලාල් මහතා කියාසිටී.

පුරාණ චීන දාර්ශනිකයන්ගේ ඉගැන්වීම් නවීන යුගයට ගැලපෙන සේ යොදාගැනීම චීනයේ ක්‍රියා පටිපාටිය විමසීමේ දී කැපීපෙනෙන තවත් කරුණකි. සහයෝගය, සහජීවනය, බෙදාහදා ගැනීම, මිත්‍රශීලීත්වය, ගැටුම් වෙනුවට සංවාද වැනි සියලු සාරධර්ම පුරාණ චීන ප්‍රඥාවේ අන්තර්ගත කරුණු වේ. මේවා චීනයේ දේශීය මෙන්ම ජාත්‍යන්තර  ක්‍රියා පිළිවෙළ තුළ මනාව පිළිබිඹු වන බව ද ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ලාල් කුමාර මහතා පෙන්වාදෙයි.

ලොව සෙසු රටවල් අතර  චීනයට වෙසෙස් අනන්‍යතාවක් හිමිවන්නේ චීනය ශිෂ්ටාචාරගත දැක්මකින් ක්‍රියාකරන නිසා ය. මේ පදනම රැකගනිමින් ඔවුන් අනාගතය කරා යන ගමන ආත්ම විශ්වාසයෙන් පිරිපුන් බවත්, එය තිරසර සාර්ථකත්වය නිසැකව සාක්ෂාත් කරනු ඇති බවත් ඔහු අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම