චීන නවීකරණය චීන-ඉතියෝපියා සහයෝගීතාවට නව අවස්ථා ගෙන එන බව චීන ජනපති පවසයි
2023-08-24 10:10:00
Share with:

චීනය උසස් තත්ත්වයේ සංවර්ධනය සමගින් චීන නවීකරණය ඉදිරියට ගෙන යන අතර, එය චීන-ඉතියෝපියා සහයෝගීතාවයට නව අවස්ථා ගෙන එන බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.  ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ 15 වන BRICS සමුළුව අතරතුර ඉතියෝපියානු අග්‍රාමාත්‍ය Abiy Ahmed මහතා සමග පැවති සාකච්ඡාවකදීය.

චීනය ඉතියෝපියාවේ විශ්වාසවන්ත මිතුරෙකු සහ සැබෑ හවුල්කරුවෙකු වන අතර මෑත වසරවලදී දෙරට අතර ශක්තිමත් සබඳතාවයක් තහවුරු වී ඇත. එමෙන්ම එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සහ චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයේ රාමුව තුළ ‍මේ වනවිට උසස් ප්‍රතිඵල ලැබී ඇති බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

චීනය ඉතියෝපියාව සමග ඇති සබඳතාවලට විශාල වැදගත්කමක් ලබා දෙන අතර එහි සාමය ස්ථාපිත කිරීමේ ක්‍රියාවලියට සහ සංවර්ධනයට අඛණ්ඩව සහාය ලබා දෙන බව ද  ෂී ජින්පිං මහතා පැවසීය.

දෙපාර්ශ්වයම සිය මූලික සහ ප්‍රධාන අවශ්‍යතා සම්බන්ධ ගැටළුවලදී ‍අන්‍යෝන්‍ය සහයෝගය ලබා දිය යුතු බව අවධාරණය කළ චීන ජනාධිපතිවරයා, චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ සහ ඉතියෝපියාවේ දස අවුරුදු ඉදිරි සංවර්ධන සැලැස්ම අතර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව ද ප්‍රකාශ කළේය.

ද්විපාර්ශ්වික ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා අප්‍රිකානු කෘෂිකාර්මික නිෂ්පාදන චීනයට ප්‍ර‍වේශ වීමේදී ඉතියෝපියාව හරිත පාරිසරික හිතකර ක්‍රම භාවිත කිරීම අගය කරන අතර ඉතියෝපියාවේ ආයෝජනය කිරීමට සහ ව්‍යාපාර ආරම්භ කිරීමට තවදුරටත් චීන ව්‍යවසායන් දිරිමත් කරන බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉතියෝපියාව චීනය සමඟ ඇති මිත්‍රත්වය ඉතා ඉහළින් අගය කරන බවත්, එකම චීනය ප්‍රතිපත්තිය ස්ථීර ලෙස තහවුරු කරන බවත්, ෂී ජින්පිං මහතා විසින් යෝජනා කරන ලද ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම සහ ගෝලීය ශිෂ්ටාචාරයේ මුලපිරීම සඳහා සහාය දක්වන බවත් Abiy Ahmed  මහතා පැවසීය.

ඉතියෝපියාව සිය ජාතික සංවර්ධනය වඩා හොඳින් සාක්ෂාත් කර ගැනීම සඳහා චීනයේ පාලන අත්දැකීම් භාවිතයට ගැනීමට සූදානම්ව සිටින අතර කෘෂිකර්මාන්තය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල චීනය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටින බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

බහුපාර්ශ්වික යාන්ත්‍රණයන්හි සමීප සහයෝගීතා තහවුරු කිරීම සහ දෙරට සඳහා වඩා හොඳ හවුල් අනාගතයක් නිර්මාණය කර ගැනීමට ඉතියෝපියාව BRICS රටවල් සමග සම්බන්ධ වීමට බලාපොරොත්තු වන බව ද Abiy Ahmed  මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම