චීන ජනපති බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයින්ගේ 15වැනි සමුළුව අමතයි
2023-08-23 20:46:26
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(23) දකුණු අප්‍රිකාවේ Johannesburg නගරයේ පැවති බ්‍රික්ස් රටවල රාජ්‍ය නායකයින්ගේ 15වැනි සමුළුව ඇමතීය.

‘සමගියෙන් සංවර්ධනය සැලසුම් කරමින් සාමය සඳහා ධෛර්යසම්පන්නව වගකීම් භාර ගැනීම’ යන්න ජනාධිපතිවරයා ගේ දේශනයේ ‍තේමාව විය.

බ්‍රික්ස් රටවල් ජාත්‍යන්තර සමස්තය හැඩගැසීමේ වැදගත් බලවේගයකි. එම රටවල් ස්වයං සංවර්ධන මාර්ගය තෝරා ගෙන සිය සංවර්ධන අයිති පොදුවේ ආරක්ෂා කරමින් අත්වැල් බැඳගෙන නවීකරණය කරා ගමන් කරමින් සිටියි. මානව සමාජයේ ගමන් දිශාව පෙන්වන බ්‍රික්ස් රටවල්, ලෝක සංවර්ධන ක්‍රියාදාමයට දැඩිව බලපානු ඒකාන්ත යැයි ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය. 

සැමවිටම ස්වෛරී ස්වාධීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති අනුගමනය කරන බ්‍රික්ස් රටවල් වැදගත් ජාත්‍යන්තර ගැටළු වලදී සත්‍යමත පිහිටා අදහස් දක්වමින් සාධාරණ ලෙස කටයුතු කරයි. එසේම මූලධර්මයන් කේවල් කිරීමකට ලක් නොකරන බ්‍රික්ස් රටවල් බාහිර බලවේගවලට යටත් නොවී ඔවුන්ට ද පක්ෂපාතීත්වය නොදක්වයි. බ්‍රික්ස් රටවල් අතර පුළුල් පොදු අදහස් පවතින අතර ඔවුන්ට පොදු ඉලක්ක ද ඇත. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද එහි සහයෝගතා කැමැත්ත හා  පොදු අභිලාෂය වෙනස් නොවේ.

බ්‍රික්ස් සහයෝගතාව වර්තමානයේ වැදගත් පරිවර්තන යුගයක පවතී. ඒකාබද්ධ ස්වයං සංවර්ධන අභිප්‍රායේ එල්බ සිටිමින් විවිධ ක්ෂේත්‍රවල සහ‍යෝගතා පුළුල් කරමින් ඉහල ගුණාත්මකභාවයෙන් යුතු හවුල්කාරීත්වය ඉදිරියට මෙහෙයැවිය යුතුය. ගෝලීය ප්‍රතිසංස්කරණය වඩාත් සාධාරණ හා හේතුසහගත දිශාවක් කරා වර්ධනය කරවමින් ලෝකයට සාධාරණත්වය, ස්ථාවරබව හා ධනාත්මක බලය එකතු කිරීම බ්‍රික්ස් රටවල යුතුකම යැයි තමාගේ මතය බව ෂී ජින්පිං මහතා කීය.

බ්‍රික්ස් රටවල් ආර්ථික, වෙළඳ හා මුල්‍ය සේවා සහයෝගතාවන්ට යොමු විය යුතුය. සංවර්ධනය යනු, විවිධ රටවල, අහිමි කළ නොහැකි අයිතියක් මිස සුළුතර රටවල වරප්‍රසාදයක් නොවේ. බ්‍රික්ස් රටවල් සංවර්ධන මාර්ගයේ සම ගමන්කරන්නන් වන අතර හුදෙකලා කිරීම් හා ආර්ථික සංත්‍රාසයට විරුද්ධ විය යුතුය. ඩිජිටල් ආර්ථිකය, හරිත සංවර්ධනය, සැපයුම් දාමය ඇතුළු ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගතාවන්ට අවධානය යොමු කරමින් එහි ආර්ථික, වෙළඳ හා මුල්‍ය සේවා හුවමාරු පුළුල් කිරීමට බ්‍රික්ස් රටවල් කටයුතු කළ යුතුය.

බ්‍රික්ස් රටවල් දේශපාලන ආරක්ෂක සහයෝගීතාව පූර්ණ කරමින් සාමය හා සුරක්ෂිතභාවය සහතික කිරීමට උත්සාහ දැරිය යුතු ය. වත්මන් ලෝකයේ සීතල යුධ චින්තනය තවදුරටත් පැතිරයමින් පවතින අතර භූගෝලීය දේශපාලන තත්ත්වය දරුණු මට්ටමක පවතී. ඒ ඒ රටවල ජනතාව ‍ගේ අපේක්ෂාව, යහපත් ආරක්ෂක පරිසරයකි. 

බ්‍රික්ස් රටවල් සාම සංවර්ධන දිශාව ස්ථිර ලෙස අනුගමනය කරමින්  උපාය මාර්ගික හවුකාරී සබඳතාව තවහුරු කළ යුතු ය. බ්‍රික්ස් රටවල විදේශ අමාත්‍යවරුන්ගේ හමුව, ආරක්ෂක කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ නියෝජිතයන්ගේ රැස්වීම යන ක්‍රමවේද භාවිත කරමින් එකිනෙකාගේ කේන්ද්‍රීය ප්‍රතිලාභ හා සම්බන්ධ ප්‍රශ්නවලදී අන්‍යෝන්‍ය ලෙස අනුබල දැක්විය යුතුය. වැදගත් ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්නවලට අදාළව සම්බන්ධීකරණය ශක්තිමත් කළ යුතු ය. ජාත්‍යන්තර උණුසුම් ප්‍රශ්ණවලදී සක්‍රීය ලෙස මැදිහත් වෙමින් දේශපාලන ක්‍රම මගින් අදාල ගැටළු විසඳා ගැනීමටත් නොසන්සුන් තත්ත්වය සන්සුන් කිරීමටත් ප්‍රයත්න දැරිය යුතුය. 

කෘත්‍රිම බුද්ධිය මානවයාගේ නව සංවර්ධන ක්ෂේත්‍රයයි. අවදානම් සාමූහිකව වළක්වා පොදු එකඟතාවන් සහිත කෘත්‍රිම බුද්ධි පරිපාලන රාමුව හා ප්‍රමිතීන්, රෙගුලාසි ගොඩානැගීමට බ්‍රික්ස් රටවල් දායක විය යුතු ය.

සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කරමින් ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය අධ්‍යයනය වැදගත්ය. විවිධ ශිෂ්ටාචාර අතර සාමකාමී සහජීවනයට අනුබල දෙමින් ඒ ඒ රටවල් තෝරා ගත් නවීකරණ මාර්ගයන්ටත් බ්‍රික්ස් රටවල් ගරු කළ යුතු ය. එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ව්‍යාප්ත කරමින් වෘත්තීය අධ්‍යාපන සන්ධානයේ කාර්යභාරය පූර්ණව ඉටු කරමින් ඩිජිටල් අධ්‍යාපන සහයෝගීතා යාන්ත්‍රණයක් බිහි කිරීමට ගවේෂණය කළ හැකි බව ෂී ජින්පිං මහතා පැවසීය. 

බ්‍රික්ස් රටවලට සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කරමින් ගෝලීය පාලනය වැඩිදියුණු කිරීමට දායක විය හැකි යැයි ද ඔහු කියා සිටී. ගෝලීය පාලනය ශක්තිමත් කිරීම, ජාත්‍යන්තර ප්‍රජාවට සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට සහ ගෝලීය අභියෝගවලට මුහුණ දීමට ඇති නිවැරදි තේරීම බව හෙතෙම කීය. ජාත්‍යන්තර නීති රීති එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ ප්‍රතිපත්තිවලට අනුකූලව, ජාත්‍යන්තර ප්‍රජාව විසින් පොදුවේ සම්පාදනය කළ යුතු අතර එය තීරණය කෙරෙන්නේ  කවරෙකු ගේ බලය හෝ හඬ වැඩි වීම හෝ මත නොවේ. එසේම ඇතැම් රටවල් තම සන්ධානයන්හී නීතිය ජාත්‍යන්තර නීති ලෙස අසුරා සෙසු රටවලට නොපැණවිය යුතුය. එබැවින් බ්‍රික්ස් රටවල් සැබෑ බහුපාර්ශ්විකත්වය අනුගමනය කළ යුතු අතර, එක්සත් ජාතීන්ගේ කේන්ද්‍රය සමඟ ජාත්‍යන්තර පද්ධතිය හා ලෝක වෙළඳ සංවි‍ධානයේ හරය සමඟ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට සහාය දිය යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

බ්‍රික්ස් සහයෝගීතාවයට සහභාගී වීමට සංවර්ධනය වෙමින් පවතින රටවල උද්‍යෝගය ඉහළ යමින් පවතින බව දැකීම පිළිබඳව ෂී ජින්පිං මහතා සතුට පළ කළේය. බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් බ්‍රික්ස් සහයෝගීතා යාන්ත්‍රණයට එක් වීමට ඉල්ලුම් කර ඇත. ගෝලීය පාලනය වඩාත් සාධාරණ දිශාවකට ප්‍රවර්ධනය කිරීම සඳහා, වඩා වැඩි රටවලට ඊට එක්වීමට ඉඩ දිය යුතු බව ෂී ජින්පිං මහතා කීය.

බ්‍රික්ස් රටවල් සමඟ, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් යන සංකල්පය අනුගමනය කරමින්,  උපායමාර්ගික හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම මගින්, විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කිරීමටත්, බ්‍රික්ස් වගකීම් සමඟ පොදු අභියෝගවලට මුහුණ දෙමින් වඩා සුන්දර අනාගතයක් නිර්මාණය කරන අතරම, නවීකරණය ප්‍රවර්ධනය කිරීමටත් චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. 

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම