චීන - දකුණු අප්‍රිකානු ජනපතිවරුන් අතර සාකච්ඡා
2023-08-22 19:17:46
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා සමග සාකච්ඡා පවත්වයි. එම සාකච්ඡාව දකුණු අප්‍රිකාවේ Pretoria හි ජනාධිපති මන්දිරයේ දී අද (22) පෙරවරුවේ පැවැත්විණ.

Matamela Cyril Ramaphosa ජනාධිපතිවරයාගේ මෙහෙයවීම යටතේ දකුණු අප්‍රිකාවේ ජාතික සංවර්ධනය ජයග්‍රහණ රැසක් දිනා ඇත. එසේම, දකුණු අප්‍රිකාව සතු ජාත්‍යන්තර බලපෑම් ශක්තිය ද දිනෙන් දින ඉහළ යමින් පවතින බව ෂී ජින්පිං මහතා පෙන්වාදෙයි. ඒ පිළිබඳව චීනය ප්‍රසාදයෙන් පසුවන අතර, සංවර්ධන මාර්ගයේ දී ප්‍රශස්ත ප්‍රගතීන් දිනා ගැනීම සඳහා සුබ ප්‍රාර්ථනා කරන බව ද ඔහු කියාසිටියේය. 

ගෙවී ගිය දශකය තුළ චීන -දකුණු අප්‍රිකානු සම්බන්ධතාව පුළුල් වීම පිළිබඳ සන්ධිස්ථානගත අවස්ථාවලට තමා එක්වූ බව ද චීන ජනාධිපතිවරයා සිහිපත් කළේය. Durban තාක්ෂණික විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය ස්ථාපිත කිරීම මෙන්ම දකුණු අප්‍රිකාවේ පැවති ‘චීන වසර’ ක්‍රියාකාරකමේ චමත්කාරය ද තමා සියැසින් දුටු බව ෂී ජින්පිං මහතා පැවසීය. තමා Ramaphosa ජනාධිපතිවරයා සමග BAIC මෝටර් රථ නිෂ්පාදන සමාගමේ දකුණු අප්‍රිකානු ශාඛාවේ නිෂ්පාදන ආරම්භ කළ බව ද හෙතෙම මෙහිදී සිහිපත් කළේය.

චීන දකුණු අප්‍රිකානු සම්බන්ධතාවයේ මනා පැවැත්මට හා දෙරට අතර ගැඹුරු මිත්‍රත්වයට ප්‍රධාන හේතුව වන්නේ, දෙරට හා පාලන පක්ෂ දෙක, අන්‍යොන්‍ය සංවර්ධන මාර්ග ඔස්සේ ගමන් කරමින් එකිනෙකාට සහාය වී සහෝදරත්වය ගොඩනැගීම යි. නව ‍ඓතිහාසික ආරම්භයක සිට, මිත්‍රත්වය මෙන්ම සහයෝගතා පුළුල් කරමින් සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, දෙරටේම පොදු අපේක්ෂාව වී ඇත. චීන-දකුණු අප්‍රිකානු අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය නව මට්ටමකට නංවාලීම සඳහා Ramaphosa ජනාධිපතිවරයා සමග එක්ව ප්‍රයත්න දරන බව ද ෂී ජින්පිං මහතා කියා සිටි‍යේය.  

පොදු ඉරණමක් සහිත ඉහළ මට්ටමේ චීන-දකුණු අප්‍රිකානු ප්‍රජාවක් ගොඩනැගීමට නායක දෙපළ මෙහිදී එකඟ වූහ.

එම ක්‍රියාවලියේ දී  උපරිම අන්‍යොන්‍ය විශ්වාසයෙන් බැ‍‍‍ඳීසිටින උපායමාර්ගික හවුල්කරුවන්, පොදුවේ දියුණු වන සංවර්ධන හවුල්කරුවන් මෙන්ම එකිනෙකා පිළිබඳ මනා අවබෝධයෙන් පසු වන මිත්‍රශීලී හා යුක්තිය ආරක්ෂා කිරීමේ ගෝලීය හවුල්කරුවන් ලෙස කටයුතු කළ හැකි බවට ද ෂී ජින්පිං මහතා යෝජනා කළේය. 

ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ සහයෝගතාව හා පොදු ජයග්‍රහණ පිළිබඳ යෝජනා මෙන්ම ක්‍රියාකලාපයට පූර්ණ වශයෙන්  සහාය වන බව  Matamela Cyril Ramaphosa ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියේය. අභියෝගයන්ට පොදුවේ මුහුණ දී ඉහළ සමානාත්මතාවකින් යුතු, සාධාරණ හා හේතුසහගත ජාත්‍යන්තර පටිපාටියක් ගොඩනැගීම ප්‍රවර්ධනය සඳහා, දකුණු අප්‍රිකාව ඇතුළු දකුණු අර්ධගෝලීය රටවල්, චීනය සමග සමගිය හා සහයෝගතාව පුළුල් කිරීමට අපේක්ෂාවෙන් සිටින බව ද ඔහු අවධාරණය කළේය.

සාකච්ඡාවෙන් අනතුරුව නායක දෙපළේ ඉදිරියේ, ‘එක් තීරයක් එක් මාවතක්’ පොදුවේ සංවර්ධනය කිරීම, නව බලශක්තියෙන් විදුලි උත්පාදනය, කෘෂි නිෂ්පාදනය, විශේෂ ආර්ථික කලාපය හා කර්මාන්ත කලාපය, නිල්වන් ආර්ථිකය, අතිනවීන තාක්ෂණය හා උසස් අධ්‍යාපනය යනා දී ක්ෂේත්‍ර පිළිබඳ ද්විපාර්ශ්වික සහයෝගතා ලේඛන රැසකට අත්සන් තැබිණ.

අනතුරුව, ‘චීන මහජන සමූහාණ්ඩුව හා දකුණු අප්‍රිකානු ජනරජය අතර ඒකාබද්ධ නිවේදනය’  පළකරනු ලැබීය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම