චීන - දකුණු අප්‍රිකානු ජනපතිවරුන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක
2023-08-22 21:41:57
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා මාධ්‍ය හමුවකට එක්වෙති.

එය දකුණු අප්‍රිකාවේ Pretoria හි ජනාධිපති මන්දිරයේ දී අද (22) දහවල් පැවැත්විණ. ඒ, දෙරට ජනපතිවරුන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව යි.

තමා Matamela Cyril Ramaphosa ජනාධිපතිවරයා සමග ඵලදායී  සාකච්ඡා පවත්වා, නවයුගයේ දෙරට සබඳතා  වර්ධනය සහ පොදු සැලකිල්ලට ලක්වන ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් හුවමාරු කළ බවත්, එසේම වැදගත් එකඟතාවන්ට එළඹුණු බවත්  ෂී ජින්පිං මහතා එම මාධ්‍ය හමුව අමතමින් ප්‍රකාශ කළේය. ද්විපාර්ශ්වික සහයෝගතා පිළිබඳ ලිපිලේඛන රැසක් අත්සන් තැබීමේ අවස්ථාවට ඒකාබද්ධව සහභාගි  වූ බව ද හෙතෙම පැවසීය. දෙරට මිත්‍රත්ව සහයෝගතාවේ ඉදිරි දැක්ම කෙරේ තමා පූර්ණ විශ්වාසයකින් පසු වන බව ද චීන ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ කියාසිටියේය.

චීනය හා දකුණු අප්‍රිකාව උපරිම අන්‍යොන්‍ය විශ්වාසයෙන් බැ‍‍‍‍ඳීසිටින හවුල්කරුවන් විය යුතු යැයි තමා හා Ramaphosa ජනාධිපතිවරයා විශ්වාස කරන බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

එසේම, බලපෑම් කිරීමේ ශක්තිය සතු, නැගී එන වෙළඳපොළ රටවල් දෙකක් වශයෙන්, චීනය හා දකුණු අප්‍රිකාව යුක්තිය සුරැකීම පිළිබඳ ගෝලීය හවුල්කරුවන් ලෙස කටයුතු කළ යුතුය. උපායමාර්ගික සම්බන්ධීකරණය පුළුල් කරමින් සැබෑ බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කිරීමේ දී දෙරටට එක්ව කටයුතු කළ හැකි යැයි ද ෂී ජින්පිං මහතා කියාසිටියේය. 

වර්ණභේදවාදයට එරෙහි වීමේදීත්, ජාතික සංවර්ධනයේ දීත් ලබා දුන් මහඟු සහාය වෙනුවෙන් තම ජනතාව චීනය වෙත හෘදයංගම ප්‍රණාමය පුදකරන බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේය.  ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන සහයෝගතා පුළුල් කිරීමටත් යටිතල පහසුකම්, සංචාරක, අධ්‍යාපන, ඩිජිටල් ආර්ථිකය යන ක්ෂේත්‍රවල අන්‍යෙන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගතාවන්ට යොමුවීමටත්, වැදගත් ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්නවල දී ජාත්‍යන්තර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටත් තමා හා ෂී ජින්පිං ජනාධිපතිවරයා එකඟ වූ බව ඔහු පැවසීය. දකුණු අප්‍රිකාවේ දී පැවැත්වීමට නියමිත15 වැනි බ්‍රික්ස් රාජ්‍ය නායක  සමුළුව සඳහා චීනය දුන් ස්ථිර සහයෝගයට ස්තුතිවන්ත වන බව ද Ramaphosa මහතා පැවසීය. ෂී ජින්පිං ජනාධිපතිවරයා ඇතුළු බ්‍රික්ස් නායකයන් සමග එක්ව එම රටවල හා  දකුණු අර්ධගෝලීය රටවල කතා කිරීමේ අයිතිය ඉහළ නැංවීමටත්, වඩාත් සාධාරණ හා හේතුසහගත ජාත්‍යන්තර පටිපාටියක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමටත් පියවර ගන්නා බව ද හෙතෙම කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම