විදෙස් අධ්‍යාපනය නිමවා මව්රටට පැමිණ චීන අස්පර්ශ සංස්කෘතියක් උරුම කරගත් තරුණියක්
2023-08-18 08:51:54
Share with:

Lv Yating, 1993 වසරේ චීනයේ Jiangxi පළාතේ Jingdezhen නගරයේ උපත ලැබුවා. එම නගරයේ සුවිශේෂ අනන්‍යතාවක් වන Linglong පිඟන් සැකසුම් ශිල්පයේ උරුමක්කාරියක වන ඇය, තමන්ගේ ම Linglong පිඟන් ව්‍යවසායක් ආරම්භ කළා. මීට වසර 9කට පෙර ඇය තම උපන් ගමේ, මෙම ව්‍යාපාරය ආරම්භ කළේ විදේශ රටක අධ්‍යාපනය ලබා පැමිණි පසුවයි.

Jingdezhen නගරයට ආවේණික, සංකීර්ණ මෙන්ම සුප්‍රසිද්ධ පිඟන් නිෂ්පාදන ක්‍රමවේද වර්ග 4 න් එකක් ලෙස Linglong පිඟන් ශිල්පය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ සඳහා ඉහළ තාක්ෂණ දැනුමක් අවශ්‍ය වන නිසා, මුලින් ඉතා අඩු නිෂ්පාදනයක් දක්නට ලැබුණා.

Lv සිය විදේශ අධ්‍යාපනය නිම කර මව්රටට ආපසු පැමිණීමෙන් පසු, ආධුනිකයෙකු ලෙස මේ සුවිශේෂ ශිල්පය හැදෑරීමට පටන් ගත්තා. ඉන් අනතුරුව, සිය කණ්ඩායම සමග කළ අත්හදා බැලීම් සිය ගණනකින් පසු Linglong පිඟන් භාණ්ඩ සැකසුම් පිළිබඳ සියුම් කුසලතා මැනැවින් ඉහළ නංවා ගැනීමට ඇය සමත් වුණා.

මේ වනවිට, Lv ගේ ව්‍යවසාය මගින් නිෂ්පාදනය කර ඇති Linglong පිඟන් භාණ්ඩ 10කට වැඩි රටවල් හා කලාපවලට අලෙවි කෙරෙනවා. රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ තිළිණ සඳහා ද ඒවා යොදා ගෙන තිබීම විශේෂත්වයක්. Linglong පිඟන් ශිල්පය සතු චමත්කාරය ජාත්‍යන්තර තලයේ පෙන්නුම් කිරීමට හැකිවීම නිසාම, චීන ජාතිකයෙකු ලෙස තමාට ආඩම්බරයක් දැනෙන බව Lv පවසනවා.

එම ශිල්පය ඉදිරි‍යට රැගෙන යන අතරතුර නිර්මාණශීලීත්වය කෙරෙහි අවධානය දැක්වීම, Lv සිය ව්‍යවසාය පවත්වා ගෙන යාම සඳහා අනුගමනය කරන ක්‍රමෝපායක්. චීන පිඟන් ශිල්පය පිළිබඳ අතීත කතා කියා දී විදේශිකයන් අතර Linglong පිඟන් භාණ්ඩවලට ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර දීමට තමාට හැකිවනු ඇතැයි යන්න Lv Yating ගේ විශ්වාසය යි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම