“සුඩානයේ ගැටුම් හේතුවෙන් විශාල මානුෂීය ව්‍යසන ඇති වී තිබේ”-එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි
2023-08-16 09:53:40
Share with:

සුඩානයේ මාස හතරක ගැටුම් හේතුවෙන් දැවැන්ත මානුෂීය ව්‍යසන සහ මානව හිමිකම් කඩවීම් සිදුවී ඇති බව එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන කණ්ඩායමක් අනතුරු අඟවයි.

සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ ප්‍රකාශක William Spindler මහතා මාධ්‍ය හමුවකදී ඊයේ(15) මේ බව පැවසීය. අප්‍රේල් මාසයේ ගැටුම ආරම්භයේ සිට මිලියන 4.3 කට වැඩි පිරිසකට පලා යාමට බලපෑම් සිදුව ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ  ප්‍රකාශිකා Elizabeth Throssell මහත්මිය පැවසුවේ, දැනට තුවාල ලැබූ සංඛ්‍යාව නිශ්චිතව තහවුරු කිරීම දුෂ්කර වුවද, තාවකාලික සංඛ්‍යාලේඛනවලට අනුව මේ වන විට 4,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි.

මිලියන 2.6 ක කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට මානුෂීය ආධාර අවශ්‍යව තිබේ. ඔවුන්ගෙන් 260,000 ක් පමණ දැනට ගැබ්ගෙන ඇති අතර, 100,000 කට ආසන්න පිරිසක් ඉදිරි මාස තුන තුළ දරු ප්‍රසූතියක් අපේක්ෂා කරන බව ද එහිදී අනාවරණය විය.

සුඩානයේ මිලියන 20.3 ක පමණ ජනතාවක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇත. ආහාර සුරක්ෂිතතා තත්ත්වය කෙරෙහි හදිසි අවධානයක් යොමු කර ඊට විසඳුම් සොයන ලෙස ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ  නියෝජ්‍ය නියෝජිත Adam Yao මහතා එහිදී ඉල්ලා සිටියේය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම