චීනයේ නූතන බලසම්පන්න භාවය ඉතිහාසයේ සිටම පැවත එන්නකි
2023-08-11 16:17:51
Share with:

වසර 5000ක පමණ පැරණි සංස්කෘතියකට උරුමකම් කියන චීනය ලොවට ඉතා වටිනා දායාද රැසක් හිමි කර දුන් ශ්‍රේෂ්ඨ දේශයකි. එය ඓතිහාසික තොරතුරුවලින් ද පැහැදිලි වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ පවසති.

චීනයේ භෞතික පිහිටීම ඉතා සුවිශේෂ වේ. එනම් නැගෙනහිරින් හා දකුණින් පෘථිවියේ පුළුල්ම සාගර කලාපය වන පැසිෆික් සාගරය ද බටහිරින් ලොව උසම සානුව වන ටිබෙට් සානුව ද උතුරින් මහා කාන්තාර ද පිහිටා ඇත. මේ භූගෝලීය පිහිටීම ඉතිහාසයේ සිටම බාහිර ලෝකය සමග සම්බන්ධතා පවත්වාගෙන යාමට බාධාවක් වී ඇත. එසේ වුව ද චීන ශිෂ්ටාචාරයේ පැවති පැරණි ජනාවාසකරණ පිළිබඳ තොරතුරු පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් අනාවරණය වේ.  

චීන ඉතිහාසයේ මූලාරම්භය පිළිබඳ නිශ්චිත සඳහනක් කළ නොහැකිය. එහෙත්, ඓතිහාසික සාක්ෂි අනුව එය ප්‍රාග් ඓතිහාසික යුගයේ ක්‍රිස්තු පූර්ව හයලක්ෂයකට පමණ පෙර සිට පැවත එන බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමිල හිමියෝ පෙන්වාදෙති. චීනයේ සිටි බවට සැලකෙන ආදිතම මානව වර්ග අතර පීකිං මානවයා ක්‍රිස්තු පූර්ව ලක්ෂ හතරකට පමණ පෙර ජීවත් වූ බව පුරාවිද්‍යාත්මක සාධකවලින් පැහැදිලිවම හඳුනාගෙන ඇත. එමෙන්ම ක්‍රිස්තු පූර්ව 7000 දී පමණ ඇරඹුණු නව ශිලා යුගයේ සාධක රැසක් ද චීනයෙන් සොයා ගෙන තිබේ.

මේ අයුරින් විකාශනය වූ චීන ශිෂ්ටාචාරය පුරාණ රාජවංශ ගණනාවක දී පෝෂණය විය. මෙහිදී ෂියා රජ පෙළපතේ කාල නිර්ණය පිළිබඳ මත දෙකක් පවතී. කෙසේ වුව ද එම පාලනය සම්පූර්ණයෙන්ම අවසන් වන්නේ එහි අවසන් පාලකයා වූ ජියෙ රජු ෂං ගෝත්‍රිකයන් විසින් පරාජය කිරීමත් සමගයි.

සියවස් හයක පමණ කාලයක් ෂං පෙළපත ප්‍රබල පාලනයක් ගෙන ගිය බව ද පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් සනාථ වී ඇත. චීන අක්ෂර කලාවේ ප්‍රභවය මෙන්ම ලෝකඩ ශිල්පයේ දියුණුව ද මේ යුගයේ සිදු වූ බව අනාවරණය වී තිබේ. ෂං පාලනය බිඳ වැටීමෙන් පසු චෞ රජ පෙළපතේ පාලනයෙන් අනතුරුව පිළිවෙළින් චිං රාජවංශය සහ හන් රාජවංශයත් චීනය පාලනය කර ඇත. මේ අයුරින් චීන ශිෂ්ටාචාරය විවිධ රාජවංශ පසු කරමින් ඉදිරියට පැමිණ තිබේ.

මෙම ඓතිහාසික විකාශනය තුළ සර්වකාලීනව ලොවට වැදගත් වන නව සොයා ගැනීම් ගණනාවක් සිදු කිරීමට චීන ජාතිකයන් සමත් වූ බව දඹර අමිල හිමියෝ පවසති. වෙඩි බෙහෙත්, කඩදාසි, මාලිමාව සහ මුද්‍රණ තාක්ෂණය ඒ අතර සුවිශේෂ වේ. එමෙන්ම වසර දෙදහසකට වඩා පැරණි චීන කටු චිකිත්සාව, පළමු කඩදාසි මුදල් නෝට්ටුව, රොකට් තාක්ෂණය සහ සරුංගලය ආදී බොහෝ දෑ චීන ජාතිකයෝ ලොවට දායාද කළහ. ක්‍රි.පූ. 2737 දී පමණ තේ පානය පළමුවෙන්ම ලොවට හඳුන්වා දෙනු ලැබුවේ ද චීන ජාතිකයන් විසිනි. එසේම, ලොව පැරණිතම වී වගාව පිළිබඳ තොරතුරු හමුවන්නේ ද චීනයෙනි.

චීනයේ වර්තමානයේ පවතින නූතන බලසම්පන්න භාවය ඉතිහාසයේ සිටම පැවත එන්නකි. සමගිය, සහභාගිත්වය, නිර්මාණශීලිත්වය සහ සාමුහික බව ඔස්සේ ඔවුන්  අද වන විට ක්‍රමිකව දැවැන්ත සංවර්ධනයක් සාක්ෂාත් කර ඇත. එක්සත් ජාතීන්ගේ ව්‍යුහය තුළ පංච මහා බලවතුන් අතරට එක්වීම දක්වා වූ සියලු ජයග්‍රහණයන් හි ඇත්තේ ද ඓතිහාසිකව පැමිණි ගමන්මගෙහි අභිමානය බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ පෙන්වා දෙති.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම