චීනය, සම්ප්‍රදායේ සහ නූතනත්වයේ අද්විතීය සම්මිශ්‍රණයක්- කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය මංගල කටුගම්පොළ
2023-08-09 17:44:57
Share with:

චීනය යනු ලෝකයේ වඩාත් පැරණිතම හා වඩාත් ස්ථාවර වූ ශිෂ්ටාචාරයකින් සමන්විත අපූරු භූමියකි. ඉතා පුරාණ මූලයන්ගෙන් සමන්විත වෙමින් වසර දහස් ගණනක් ජනාවාසව පැවතෙමින් දර්ශනය, කලාව, සාහිත්‍ය, විද්‍යාව හා තාක්ෂණය ආදී විවිධ ක්ෂේත්‍රයන් චීන පොළොව මත විශිෂ්ටත්වයකින් යුක්තව ස්ථාපිත වී අතැයි කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය මංගල කටුගම්පොළ මහතා පවසයි.

එමෙන්ම රාජ වංශ පාලනයේ දී සමාජ සම්මතයන් කෙරෙහි දැක්වූ විශේෂ අවධානයත් ක්‍රි.පූ. 5වන සියවසේ දී පමණ කොන්ෆියුසියස් විසින් ආරම්භ කරන ලද කොන්‍ෆියුසියස් වාදය චීන සමාජය වඩාත් ස්ථාවර කොට තිබේ. එමඟින් සදාචාරාත්මක විටිනාකමක්, සමාජ සමගිය, අධ්‍යාපනයේ ඇති වැදගත්කම චීන ජනසමාජය තුළ අවධාරණය කර ඇති අතර එහි බලපෑම් වර්තමානයේදී ද චීන සංස්කෘතිය හා සමාජ අන්තර්ක්‍රියා හැඩගැන්වීමේදී පිළිබිඹු කරන බව මහාචාර්ය කටුගම්පොළ මහතා කියා සිටී.

ලාඕසි විසින් හඳුවාදෙන ලද තාඕසිම් අනුව ස්වභාවධර්මයට ගරුකිරීම, ස්වභාවධර්මයට අනුගතව ජීවත් වීම මෙන්ම සරල බව හැමවිට පිළිගැනීමට චීන සමාජය යොමු විය. එපමණක් නොව ඉන්දියාවෙන් ආරම්භ වූ බුදු දහම චීනයේ ද ජනප්‍රිය වූ අතර එය චීන සංස්කෘතිය විසින් අවශෝෂණය කර ගන්නා ලදී. දියුණු අක්ෂර කලාවකට උරුම කීම මත විශිෂ්ට වූ සාහිත්‍ය කලාව අත්පත් කර ගෙන තිබේ. මේ සෑම දේකම කූටප්‍රාප්තිය වුයේ සුවීය අනන්‍යතාවෙන් යුතු සංස්කෘතියක‍ට උරුමකම් කීමයි. එය සම්මත ලෝකයෙන්ම වෙනස් ආරක් ගත් සමාජ සංස්කෘතියක් බව ද මහාචාර්ය කටුගම්පොළ මහතා කියා සිටී.

ස්වභාවික මෙන්ම මානවීය විවිධත්වයේ අපූර්වත්වය වන්නේ ස්වකීය අනන්‍යතාව වර්තමානය දක්වාම පවත්වාගෙන යාමයි. එමෙන්ම සංස්කෘතික, කලාත්මක හා තාක්ෂණික අනන්‍යතාවන් ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලට ද ව්‍යාප්ත වී තිබේ. එහි මූලාරම්භය පුරාණ සේද මාවතයි. චීන ශිෂ්ටාචාරය එහි දිගු ඉතිහාසය පුරා නිරන්තරයෙන් පරිණාමය වී ඇති අතර, එහි සංස්කෘතික උරුමයන් ආරක්ෂාකර ගනිමින් වෙනස්වන තත්ත්වයකට අනුවර්තනය වී ඇති බව හෙතෙම පැවසීය.

20වන සියවස අගභාගයේ සිට චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමිකර ගනිමින් වේගවත් ආර්ථික සංවර්ධනයකට ළඟාවිය. විශේෂයෙන් 1970 අග භාගයේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම, වෙළඳ පොළ ඉලක්ක කරගත් ආර්ථිකයක් වෙත මාරු වීම ඇතුළුව චීන ආර්ථිකය වර්ධනීය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකොට ඇත. වර්තමාන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරන “පොදු ඉරණම පිළිබඳ ප්‍රජාවක් සංකල්පය” මෙන්ම “ජාතික පුනර්ජීවනය පිළිබඳ චීන සිහිනය” වැනි සංකල්ප චීන සංස්කෘතිය, ඉතිහාසය ස්වකීය සාරධර්මවල වටිනාකම් පෙරදැරිකොටගෙන යයි. එමඟින් සමස්ථ ලෝකය තුළ චීනයේ භූමිකාව කුමනාකාරයේ විය යුතු ද යන්න අවධාරණය කෙරේ. විශේෂයෙන්ම මෙමඟින් චීන ජාතික අනන්‍යතාව පිළිබඳ අදහස ප්‍රවර්ධනය කරන අතර චීන ජනතාවගේ සංස්කෘතික භාවිතය ශක්තිමත් හා ඒකාබද්ධ සමාජයක් ගොඩනැඟීමේ මාර්ගයක් ලෙස චීන සම්ප්‍රදායන්, ආචාරධර්ම හා සමාජ සම්මතයන් ආරක්ෂා කිරීම පැහැදිලි කරයි.

චීනය අතීතය, වර්තමානය හා අනාගතය යන කාල ත්‍රිත්වය මත ඉතාමත් පරිණත මෙන්ම වඩාත් විශ්වාසනීයත්ව‍යකින් යුක්තව සැරිසරනා ආකාරය පැහැදිලිව හඳුනාගත හැකි බව කටුගම්පොළ මහතා සඳහන් කළේය. චීන ශිෂ්ටාචාරයේ දීර්ඝ අතීතය ඔවුන් නිවැරදි ආකාරයෙන් හඳුනා ගනී. එපමණක් නොව ඔවුන් එයට නිසි වටිනකම ලබා දෙති, ගෞරව කරති, එමෙන්ම එය ආරක්ෂා කරති. වර්තමානය තහවුරු කිරීමේ දී එම අතීතය පාදක කර ගන්නවා සේම අනාගතය ගොඩනැඟීමේ දී ද තම ඉතිහාසය, සංස්කෘතික අනන්‍යතාව පෙරදැරිව ඒ දෙස බැලීමට වෙහෙසෙති.

මේනිසාම වර්තමානයේ මෙන්ම අනාගතයේ දී චීනය, සම්ප්‍රදායේ සහ නූතනත්වයේ අද්විතීය සම්මිශ්‍රණයක් සහිත ගෝලීය තලයේ විශේෂ අනන්‍යතාවයෙන් යුතුව නැඟී සිටින අතර, එය අධ්‍යනයේ හා අගය කිරීමේ කුතුහලය දනවන විෂයයක් බවට පත් කරන බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය මංගල කටුගම්පොළ මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම