ලොව අනෙකුත් ශිෂ්ටාචාරයන්ට ද අතිශය දැවැන්ත ආලෝකයක් වූ චීන ශිෂ්ටාචාරය - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා
2023-08-08 14:50:11
Share with:

චීනය ලොවට බොහෝ වටිනා දේ තිළිණ කළ රටකි. චීනයේ ඉතිහාසය ද එවැන්නකි. මානව පරිණාමයට ද චීනයෙන් විශාල දායකත්වයක් ලැබී ඇති බව Zhoukoudian  ගුහාවෙන් සොයාගැනුණු ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් හෝමෝ ඉරෙක්ටස්වරුන්ගේ යැයි සැලකෙන සාධක මගින් ගම්‍ය වේ. මෙහිදී සුවිශේෂ වන්නේ කහ ගඟ සහ යැංසි ගංගාව කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වූ චීන ශිෂ්ටාචාරයේ විකාශනය බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.

ක්‍රිස්තු පූර්ව 8000 දී පමණ එනම් මීට වසර දසදහසකට පෙර යැංසි නිම්නයේ මැද කොටසේ විසූ ජනතාව කෘෂිකර්මාන්තයේ නියැලුණු බව සනාථ කෙරෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි සොයාගෙන ඇත. එමෙන්ම Shaanxi පළාතේ නිම්නයක ලොව පැරණිම තණ හාල් වගා කළ බවට ද තොරතුරු අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම ශාක හා සතුන් ගෘහාශ්‍රිතකරණය කළ නව ශිලා යුගය පිළිබඳ ඉතා පැහැදිලි සාක්ෂි ද චීනයෙන් සොයාගැනීමට හැකි වී ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.‍ 

ප්‍රාග් ඓතිහාසික සංස්කෘතීන් වන Yangshao, Dawenkou සහ Daxi යන සංස්කෘතීන් ද චීන ශිෂ්ටාචාරයේ වර්ධනය සමග ලෝකයට දායාද කෙරිණ. ඒවා නව ශිලා යුගයේ ප්‍රවණතා පෙන්නුම් කිරීම විශේෂත්වයකි. මේ අයුරින් චීනය සතු අතිවිශාල භූමියේ දේශගුණික කලාපවලට අනුරූප ව පුරාණ සංස්කෘතීන් වර්ධනය විය. මෙලෙස විවිධ රාජවංශයන් හි දී චීන ශිෂ්ටාචාරය පෝෂණය වූ අයුරු චීනයේ ප්‍රකට ඉතිහාසඥයකු වන Sima Qian ගේ විග්‍රහයන් තුළ ද ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. ඒ, ඔහු රචනා කළ චීන ඉතිහාසයේ පෞරාණිකම යුගයන් පිළිබඳ අවබෝධ කර ගත හැකි ‘Shiji’ කෘතියෙනි. එමෙන්ම ඉතිහාසයේ සිටම පැවත එන චීන ජාතිකයින්ගේ බුද්ධිමය කුසලතා ඇතුළු වි‍ශේෂතා පිළිබඳ විශ්ලේෂණය කර බලන විට චීන ශිෂ්ටාචාරය අනෙකුත් ලෝක ශිෂ්ටාචාරයන්ට  දැනුම ලබා දුන් බව ද හෙතෙම කියාසිටී.

චීන ශිෂ්ටාචාරයේ ඇති මෙම අද්විතීයභාවය අවධාරණය කිරීම අමුතුවෙන් කළ යුත්තක් නොවේ.  මිනිසා විසින් නිර්මිත අතිදැවැන්තම නිර්මාණයක් වූ චීන මහා ප්‍රාකාරයේ සිට චීනයේ සියලු ඓතිහාසික සටහන් මගින් චීන ජාතියේ අඛණ්ඩ බව, එක්සත් බව, නිර්මාණශිලීත්වය සහ සාමුහිකත්වය මනාව නිරූපණය කර ඇත.

චීනය ශ්‍රී ලාංකේය ශිෂ්ටාචාරය සමග පැවති අවියෝජනීය සම්බන්ධය ද පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් අනාවරණය වී තිබේ. යාපහුව සහ මාතොට වැනි ප්‍රදේශවලින් සොයාගැනුණු පුරාවිද්‍යාත්මක සාක්ෂි මෙන්ම සීගිරි කුරුටු ගී ද ‍මෙම ඓතිහාසික සම්බන්ධතාවය සනාථ කර ඇත. එහෙයින් චීන ශිෂ්ටාචාරය සිය ජාතිය පෝෂණය කළා පමණක් නොව, ලොව අන් ශිෂ්ටාචාරයන්ට ද අතිශය දැවැන්ත මෙන්ම ප්‍රබල ආලෝකයක් වූ බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම