ජනාධිපතිවරයා හා ජපාන විදේශ ඇමතිවරයා අතර සාකච්ඡාවක්
2023-07-30 17:01:46
Share with:

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාක් අද (29) කොළඹදී පැවැත්විණ.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කරමින් ඇරඹි මෙම සාකච්ඡාවේදී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ලබාදෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ පොදු වේදිකාව වැඩිදියුණු කිරීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සමග සිදු කළ සාකච්ඡාව පිළිබඳව ද කරුණු පැහැදිළි කර ඇත.

එසේම ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව තවදුරටත් විදහා දැක්වෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, වරාය නැගෙනහිර පර්යන්තය, මහනුවර සංවර්ධන සැලැස්ම, මධ්‍යම අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීම යන ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක්වී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම