ජනපති සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ නියෝජිතයෙකු අතර හමුවක්
2023-07-23 16:16:51
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, චීනයේ Chongqing නාගරික කමිටු ලේකම් Yuan Jiajun මහතා හමුවෙයි. එම හමුව ඊයේ (22) කොළඹ ජනාධිපති මන්දිරයේ සිදුවිය.

චීනය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ මිතුරෙකු බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා චීනය දිගුකාලීනව ලබාදෙන ප්‍රබල සහයෝගයට ස්තුතිවන්ත වන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. චීනය සමඟ පවතින ප්‍රායෝගික සහයෝගිතාව ශක්තිමත් කිරීමටත්, දෙරට අන්තර් පක්ෂ  හා කලාපීය හුවමාරු පුළුල් කිරීම සහ “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ යටතේ උසස් තත්ත්වයේ ඒකාබද්ධ ගොඩනැගීම් ප්‍රවර්ධනයටත් ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව ද හෙතෙම පැවසීය.

පාරම්පරික මිත්‍රත්වය සහ අවංක අන්‍යෝන්‍ය සහයෝගය සමග දෙරට අතර උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය ඉහළ තලයකට රැගෙන යාම සඳහා ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳ ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ආචාර්ය Yuan Jiajun මහතා මෙහිදී පැවසීය. නව ගොඩබිම්-මුහුදු කොරිඩෝව ඉදිකිරීම සහ දරිද්‍රතාව අවම කිරීම පිළිබඳ සහයෝගිතා ශක්තිමත් කරමින්, දෙපාර්ශ්වයේම උසස් තත්ත්වයේ ආර්ථික හා සමාජයීය සංවර්ධනය සහතික කිරීමට Chongqing නගරය සූදානම් බව ද හෙතෙම පැවසීය.

මේ අතර, Yuan Jiajun මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමු වී සාකච්ඡා පැවැත්වීය. දෙමුහුන් සහල් වර්ග සහ අනෙකුත් ආහාර බෝග පිළිබඳ විශේෂඥයන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලබාදීමට ද ඔහු එහිදී එකඟතාව පළකර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂයේ ආරාධනයෙන් ඉකුත් 19 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය ඇරඹූ Yuan Jiajun මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිස අද (23)  දිවයිනෙන් පිටත් ව යාමට නියමිත යි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම