ඇල්ජීරියාවේ ‘කාලයට අභියෝග කරන’ චීන වෛද්‍ය කණ්ඩායම
2023-07-23 17:18:23
Share with:

Zhu Tao, ඇල්ජීරියාවට ගිය 27 වැනි චීන වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක්. ඔහු චීනයේ Wuhan නගරයේ Tongji රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකුක්. නව කොරොනා වසංගතය ලොව පුරා පැතිර ගිය කාලයේ, ඔහු ස්ව කැමැත්තෙන්ම ඇල්ජීරියාවට ගොස් වෛද්‍ය සේවා ආරම්භ කළා. මේ වන විට, ඔහු එරට සේවය කර අවුරුදු 2ක කාලයක් ගත වෙලා.

චීන වෛද්‍ය කණ්ඩායම ඇල්ජිරියාවේ Saidif විශ්වවිද්‍යාලයට අනුබද්ධ ප්‍රසව හා නාරිවේද රෝහලේ සායනික රාජකාරි රැසක් භාර ව ක්‍රියා කරනවා. රෝහලේ පවතින සීමිත පහසුකම් නිසා, හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් බේරා ගැනීමේ ශක්‍යතා පහළ මට්ටමක පවතිනවා. ඒ නිසාම, එහි ගැබිණි කාන්තාවන්, ප්‍රසූති මව්වරුන් මෙන් ම ළදරු මරණ ප්‍රතිශත පවතින්නේ ඉහළ මට්ටමක යි. කෙසේවෙතත්, චීන වෛද්‍යවරුන්ගේ ප්‍රයත්න හේතුවෙන්, ගතවූ වසර 2 තුළ, ඒ රෝහලේ ගැබිණි මවුවරුන්ගේ මරණ අනුපාතය 63% කින් අඩු වී ඇති අතර, ප්‍රසූති කාන්තා මරණ අනුපාතය 80% කින් අඩු වී තිබෙනවා. ළදරු මරණ අනුපාතය ද සැලකිය යුතු අයුරින් පහළ ගොසින්.

එම රෝහලේ චීන වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියෙකු මෙන් ම ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු වන වෛද්‍ය Zhu ට තමාගේ ජංගම දුරකථනය පැය 24 පුරාම ක්‍රියාකාරීව තබා ගැනීමට සිදුවනවා. මැදියම් රැයේ වුවත්, හදිසි අවස්ථාවල දී කිසිදු පැකිළීමකින් තොරව රෝහලට ගොස් රෝගීන්ගේ දිවි බේරා ගැනීම සඳහා කැපවීම ඔහුගේ පිළිවෙත යි. හදිසි ප්‍රතිකාර අවශ්‍ය මවුවරුන්ගේ ජීවිත වෙනුවෙන් කාලය සමග නිරතුරු සටන් කරන මේ ජීවක පරපුරේ වෛද්‍යවරයාට සෙසු චීන වෛද්‍යවරුන්ගේ සහාය හා ඉහළ වෛද්‍ය තාක්ෂණයෙන් මනා පිටුබලයක් සැපයෙනවා.  වෛද්‍ය Zhu Tao යනු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රෝගීන් උදෙසා කැප වී සිටින මානව හිතවාදියෙක්.

එසේම, නිසි ප්‍රතිකාර හේතුවෙන් දිවි බේරාගැනුණු ගැබිණි කාන්තාවන් හා ප්‍රසූති කාන්තාවන් චීන වෛද්‍යවරුන්ගේ කැපවීම පිළිබඳව අවංක කෘතඥතාව පළ කරනවා. ඔවුන්ගේ සිනාමුසු මුහුණු විදේශ රටක සේවය කරන චීන වෛද්‍යවරයෙකු සතු උතුම් වගකීම සිහිපත් කරවන බවයි, Zhu වෛද්‍යවරයාගේ අදහස.

මේ අතර, ඇල්ජීරියාවේ වෛද්‍යවරුන්ගේ නිපුණතා ඉහළ නංවාලීමට සහාය දැක්වීම වෛද්‍ය Zhu ඇතුළු ‍චීන වෛද්‍යවරුන්ගේ අපේක්ෂාවයි. මේ වෙනුවෙන්, එරටට පැමිණි මුල් කාලයේ සිට ම, ඔහු ඉගැන්වීමේ කටයුතු සායනික සේවාවන් හා සම්බන්ධ කිරීම කෙරෙහි අවධානයක් ‍දක්වා තිබෙනවා. දරු ප්‍රසූති ශල්‍යකර්ම පිළිබඳ ඉගැන්වීම් ද ඊට ඇතුළත්. චීන වෛද්‍යවරුන් සතු දැනුම හා අත්දැකීම් කිසිදු ගුරු මුෂ්ටියකින් තොරව ඇල්ජීරියානු වෛද්‍යවරුන්ට තිළිණ කිරීම විශේෂයෙන්ම අගය කළ යුතු කරුණක්.


ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම