සුන්දර අනාගතයක් උදෙසා චීන - ලතින් ඇමරිකානු සබඳතා තහවුරු කෙරේ
2023-07-21 19:47:37
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2014 වසරේ ජූලි මාසයේ, බ්‍රසීලයේ දී ලතින් ඇමරිකානු සහ කැරිබියානු රටවල් 11හේ රාජ්‍ය නායකයන් සමග ප්‍රථම වරට හමුවීම් පැවැත්වීය. ඒ චීන පාර්ශ්වයේ යෝජනාව අනුව යි. සමානාත්මතාව, අන්‍යොන්‍ය ප්‍රතිලාභ හා පොදු සංවර්ධනය අත්විඳිය හැකි චීන-ලතින් ඇමරිකානු පූර්ණ සහයෝගිතා හවුල්කාරීත්වය ගොඩනැංවීමට ඔවුහු එහිදී තීරණය කළහ. ඒ සමගින්, චීන-ලතින් ඇමරිකානු සංසදය ස්ථාපිත කළ බව ප්‍රකාශයට පත්කෙරුණු අතර, ද්විපාර්ශ්වික සහයෝගිතා ක්‍රියාදාමයන් හි ආරම්භය එමගින් සටහන් විය.

ගෙවී ගිය වසර 9 තුළ, ඒකාබද්ධ ප්‍රයත්න හේතුවෙන්, චීන-ලතින් ඇමරිකානු සංසදයේ ශක්තිය අඛණ්ඩ ව තහවුරු වී තිබේ. ලතින් ඇමරිකානු හා කැරිබියානු කලාපයේ වැඩි රටවල් සංඛ්‍යාවක් ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ අධිගුණාත්මක අයුරින්,  ගොඩනැංවීම සඳහා එක් ව සිටී.

ඉකුත් ජූනි මාසයේ ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං අගනුවර දී ලතින් ඇමරිකානු මහාද්වීපයෙන් පැමිණි නව මිතුරියක පිළිගත්තේ ය. ඒ, හොන්ඩ්‍යුරාස් ජනරජයේ ජනාධිපතිනි Iris Xiomara Castro Sarmiento මහත්මිය ය. මෙම සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ෂී ජින් පිං මහතා කියාසිටියේ, මෙම වසරේ මාර්තු මාසයේ චීනය හොන්ඩ්‍යුරාස් ජනරජය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටවූ බවයි. එසේම, එරට රාජ්‍ය නායකයෙකු චීනයේ නිල සංචාරයකට එක් වූ ප්‍රථම අවස්ථාව ද එය යි. දෙරට සබඳතාවයේ නව ඓතිහාසික පරිච්ඡේදය ඉන් ආරම්භ වූ බව ද ෂී ජින් පිං මහතා පැවසීය.

මේ වනවිට, ලතින් ඇමරිකානු හා කැරිබියානු රටවල් 33 ක් අතරින් 26 ක් චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා අරඹා ඇත. වර්තමානය වනවිට චීන-ලතින් ඇමරිකානු සහයෝගිතා පෙර නොවූ විරූ ඉහළ මට්ටමකට ළඟා වී තිබේ. එසේම, ඉකුත් දශකයේ චීනය එම කලාපයේ දෙවැනි විශාලතම වෙළඳ හවුල්කරුවා බවට පත්වීම ද කැපීපෙනේ.

මෙම වස‍ර ආරම්භයේ දී, ෂී ජින් පිං මහතා ඇරයුමකට අනුව, ලතින් ඇමරිකානු හා කැරිබියානු රටවල පොදු ප්‍රජාවේ 7 වැනි සමුළුවට එක්විය. එහිදී දේශනයක් පැවැත්වූ ජනාධිපතිවරයා චීන-ලතින් ඇමරිකානු සහයෝගිතාවන් හි පවතින වැදගත්කම යළි විග්‍රහ කළේ ය. ගෝලීය වශයෙන් විවිධ කැළඹීම් සහිත වත්මන් යුගයේ පවතින අභියෝගයන්ට එක් ව මුහුණ දිය හැක්කේ සහයෝගිතා තහවුරු කිරීම තුළින් පමණක් බව හෙතෙම පෙන්වා දුන්නේය. ලතින් ඇමරිකානු හා කැරිබියානු රටවල් සමග එක්ව එකිනෙකාට සහාය වෙමින්, ලෝක සාමය හා සංවර්ධනය තහවුරු කිරීමට චීනය සූදානම් බව ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම