ගෝලීය සංවර්ධන මුලපිරුම ලෝ වැසියන්ට සම සංවර්ධන ප්‍රතිඵල හිමිකර දෙනු ඇත
2023-07-18 15:15:34
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලොවට හඳුන්වා දුන් ගෝලීය සංවර්ධන මුලපිරුමේ ප්‍රමුඛ අරමුණ සමස්ත ලෝකවාසී ජනතාව සංවර්ධන ප්‍රතිඵල සමාන අයුරින් භුක්ති විඳීමයි. එය මෑතකදී රාජ්‍යනායකයෙකු විසින් ලොවට ඉදිරිපත් කෙරුණු සංවර්ධනය හා සමානාත්මතාව පිළිබඳ ප්‍රබලම සංකල්පය බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, ප්‍රවීණ මාධ්‍යවේදී ෂර්ලි අනිල් ද සිල්වා මහතා කියාසිටී.

චීනය ලොව සංවර්ධනය වෙමින් පවතින විශාලතම රාජ්‍යය යි. එසේම චීනය වර්තමානයේ පවත්වාගෙන යන තිරසර සංවර්ධනය අත්පත් කර ගත්තේ තම රටට ගැලපෙන නවීකරණ සංවර්ධන මාර්ගයක් නිසි ලෙස, කාලානුරූපව සකසා ගත් නිසාය. මේ නිසාම සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණපාන අභියෝග රැසකට ප්‍රායෝගික විසඳුම් සපයන්නට චීන නායකයා සතුව මනා පරිණත දැක්මක් සම්පාදනය වී ඇතැයි ද ෂර්ලි අනිල් ද සිල්වා මහතා පවසයි.

ලොව තිරසර පැවැත්ම සඳහා වන ජගත් පටිපාටිය ආරක්ෂා කරමින්, අන්‍යොන්‍ය සහයෝගිතාවයෙන් යුතුව  සංවර්ධනය සාක්ෂාත් කිරීමේ වැදගත්කම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජාත්‍යන්තර වේදිකා කිහිපයක දී ම මෑතක දී යළි අවධාරණය කළේය. ශැංහයි සහයෝගිතා සංවිධානයේ  රාජ්‍ය නායකයන් එක් වූ රැස්වීමක දී චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, ‘එක් තීරයක් එක් මාවතක්' වැඩපිළිවෙළ ඔස්සේ පොදු සංවර්ධනය හා විවිධ රටවල් සතු සංවර්ධන උපායමාර්ග තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි. ‘එක් තීරයක් එක් මාවතක්'  වැනි වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු මෙන්ම අප්‍රිකානු රටවල් වෙත ලැබුණු සංවර්ධනීය ප්‍රතිලාභ එම රටවල තිරසර සංවර්ධනය උදෙසා සවිමත් පදනමක් සකසා තිබේ.  

ලෝක සංවර්ධන ජයග්‍රහණ තවදුරටත් එක් රටකට හෝ කලාපයකට පමණක් සීමා විය යුතු නැති බව චීන ජනාධිපතිවරයාගේ පුළුල් දැක්ම යි. බහුපාර්ශ්වවාදය රැකගනිමින්, සමස්ත ලෝකයම එක් පොදු ඉරණමක් අත්විඳිය යුතු බවට ෂී ජින් පිං මහතා අවධාරණය කරන සංකල්පය සාක්ෂාත් කර ගැනීම සඳහා ලොව සියලු පාර්ශ්ව එක්වන්නේ නම්, ලොවට වඩා යහපත් හෙට දවසක් උදාවනු ඇතැයි ද ප්‍රවීණ මාධ්‍යවේදී ෂර්ලි අනිල් ද සිල්වා මහතා විශ්වාසය පළකරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම