අතිවිනාශකාරී පොකුරු බෝම්බ යළිත් අටවන ඇමරිකාව
2023-07-14 11:47:34
Share with:

           

           චීන ආධාර යටතේ ඉදිකෙරුණු චීන-ලාඕස දුම්රිය මාර්ගය කාගේත් පැසසුමට ලක්ව තිබේ. එහෙත් බොහෝ දෙනා නොදන්නා කරුණක් වන්නේ, එම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී වියට්නාම යුද සමයේ ඇමරිකාව එරට දමා තිබුණු පොකුරු බෝම්බ ඉවත් කිරීම සඳහා පමණක් වසර 2 කට වැඩි කාලයක් ගත වූ බවයි. වසර 1964 - 1973 අතර කාලයේ පැවති වියට්නාම යුද සමයේ ඇමරිකාව විසින් වියට්නාමය, ලාඕසය හා කාම්බෝජය යන රටවල් තුනට පොකුරු බෝම්බ විශාල සංඛ්‍යාවක් හෙළනු ලැබීය. එම පොකුරු බෝම්බවලින් වැඩිම බලපෑම එල්ල වූයේ ලාඕසයට ය. මේ වන විටත් ලාඕසයේ පවතින එම පොකුරු බෝම්බ කෝටි 8ක් පමණ පුපුරා ගොස් නොමැත. එම බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට වසර 100 ක් අවශ්‍ය වේ.

            යුක්රේනයට ඇමරිකානු‍ ඩොලර් කෝටි 80 ක අතිරේක යුද ආධාරයක් ලබා දෙන බව පසුගිය දා ඇමරිකාව ප්‍රකාශ කළේය. එම යුද ආධාරයට පොකුරු බෝම්බ ද ඇතුළත් ය. යුක්රේන අර්බුදය උද්ගත වීමෙන් පසු ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එම ගැටුම තවදුරටත් උග්‍ර කර ඇත්තේ යුක්රේනයට අඛණ්ඩව විවිධ අවි සපයමිනි. මෙවර පොකුරු බෝම්බ සම්බන්ධයෙන් එම රටවල් අතර පවා විශාල කතාබහක් ඇති වී තිබේ. පොකුරු බෝම්බවල අතිදැවැන්ත විනාශකාරී බලය ඊට හේතුවයි.

            පොකුරු බෝම්බයක උණ්ඩ දුසිම් ගණනක් හෝ සිය ගණනක් තිබෙන බැවින් එය හෙළීමෙන් පසු උණ්ඩ විහිද යන පරාසය පාලනය කළ නොහැකි ය. ඇතැම් පොකුරු බෝම්බ හෙළන අවස්ථාවේම පිපිරී නොගොස් අනපේක්ෂිත වේලාවක පුපුරා යන හෙයින් ඒවා කුඩා දරුවන් ඇතුළු නිරායුධ සිවිල්වැසියන්ගේ ජීවිතවලට මාරාන්තික බලපෑම් එල්ල කරයි. ගෙවුණු වසර 20 තුළ කොසෝවෝ යුද්ධය සහ ඉරාක යුද්ධය වැනි බොහෝ සටන්වල දී ඇමරිකාව පොකුරු බෝම්බ බහුලව භාවිත කර තිබේ. මෙම පොකුරු බෝම්බ හේතුවෙන් සිවිල්වැසියන් 56 දහසත් 86 දහසත් අතර පිරිසක් මිය ගිය අතර, ඔවුන්ගෙන් බහුතරය බාල වයස්කරුවන් බව ද සංඛ්‍යාලේඛනවලින් හෙළි වී ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම