නවීකරණය වීමේදී ශ්‍රී ලංකාව විසින් චීනය ආදර්ශයට ගත යුතුයි-අජන්ත සෙනෙවිරත්න
2023-07-13 10:17:35
Share with:

අතිශය දුෂ්කර ආර්ථික අගාධයකින් ගොඩ ඒමට දුෂ්කර ගමනක යෙදෙන ශ්‍රී ලංකාව, මේ වනවිට යථා තත්වයට පත්වීමේ සලකුණු පෙන්වමින් තිබේ. එහෙත් සැබෑ ආර්ථික ස්ථායිතාවක් සඳහා යා යුතු දුර බොහෝය. එම ගමන සඳහා ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් චීන රටවැසියන් ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර අනුබලය අගය කළ යුතු බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවී ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි අජන්ත සෙනෙවිරත්න මහතා පැවසීය.

තිරසර සංවර්ධනයක් ඔස්සේ අනාගත ලෝකයට සරිලන ආකාරයේ රටක් වෙනුවෙන් නවීකරණය වන ශ්‍රී ලංකාව, චීනයේ සංවර්ධන ක්‍රියාදාමය ආදර්ශයට ගත යුතු බවත් එවැනි ප්‍රධාන ආදර්ශයන් දෙකක් කෙරෙහි තමා අවධානය යොමු කරන බවත් ඔහු කියා සිටී.

චීනයේ නවීකරණ ක්‍රියාදාමය ඔවුන්ටම ආවේණික නවතාවයකින් යුත් එකකි. නවීකරණය වීමේදී අත්‍යාවශ්‍ය සාධකයක් වන අඛණ්ඩ පෙළඹවීම ඒ නවතාව ඔස්සේ චීනයට ලැබී තිබේ. විශේෂයෙන්ම, මෙමගින් ආර්ථිකයේ තීරණාත්මක සාධකය වන තරුණ පරම්පරාව නවීකරණයේ ප්‍රබල කොටස්කරුවෙකු කරගැනීමට චීනයට හැකියාව ලැබී ඇත. නවීකරණ ඉලක්ක සපුරා ගැනීම උදෙසා, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, සමාජීය සහ පාරිසරික යන පස් වැදෑරුම් ක්ෂේත්‍රවල සම්බන්ධීකරණයට ප්‍රමුඛස්ථානයක් ලබා දීමේ චීන ආකෘතිය ශ්‍රී ලංකාව වැනි රටවලට ඉතාමත් වැදගත් වේ. සම්බන්ධීකරණයට මුල් තැනක් දෙමින් චීනය අනුගමනය කරන හරිත මූලික මෙන්ම විවෘත වූ නව්‍ය සංවර්ධන දර්ශනයේ සාර්ථකත්වය දැන් ලෝකයා ඉදිරියේ පෙනෙන්නට තිබේ.  මෙහිදී විද්‍යාව හා තාක්‍ෂණය මත වැඩි විශ්වාසයක් තබමින් තත්ත්වයෙන් උසස් සංවර්ධනයක් ළඟා කර ගැනීමට වෙහෙසීම කැපී පෙනෙන්නක් බව ද අජන්ත සෙනෙවිරත්න මහතා පැවසීය.

චීන නවීකරණයේ දක්නට ලැබෙන අනෙක් ප්‍රධාන ලක්ෂණය වන්නේ ජනතා කේන්ද්‍රීය බවයි. චීනය විශ්වාස කරන අන්දමට රටක ජනතාව විසින්ම ඔවුන්ගේ නවීකරණ මාවත තීරණය කළ යුතු අතර ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමත් ඔවුන් විසින්ම සිදු කරමින් එහි ප්‍රතිලාභද ඔවුන් විසින්ම භුක්තිවිඳිය යුතුය. මේ චින්තනය ඔස්සේ එමින් චීනය තම බිලියන 1.4 ක ජනගහනය නවීන සමාජයකට සහ පොදු සමෘද්ධිය කරා රැගෙනවිත් තිබේ. ග්‍රාමීය ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමේ චීන උත්සාහය බොහෝ සේ මල් ඵල ගැන්වී ඇත. චීනය විසින් ලොව විශාලතම අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය සහ මහජන සෞඛ්‍ය පද්ධති ගොඩනගා ඇති බව නොරහසකි. චීන ජනතාවගේ ආදායම ද රටේ ආර්ථික වර්ධනයට සමගාමීව වර්ධනය වෙමින් තිබේ.

මෙසේ බලන විට ජනතා කේන්ද්‍රීය නවීකරණ ක්‍රියාදාමයක් සමාජ ආකෘතියට ඔබින ලෙස ස්වායත්ත වූ නවතාවකින් ගොඩ නගා ගැනීම දියුණු වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටකට චීනයෙන් උගත හැකි අගනා පාඩමක් බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවී ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි අජන්ත සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

 

 




ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම