චීනය සමග සාකච්ඡා ‘ඍජු හා ඵලාදයී’බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය කියයි
2023-07-10 11:06:34
Share with:

ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් Janet L. Yellen මහත්මියගේ සිවුදින චීන නිල සංචාරය ඊයේ (09) අවසන් විය. සංචාරය අතරතුර පැවති හමුවීම්වල දී ද්විපාර්ශ්වික සාකච්ඡා හා සහයෝගිතාවන් හි අවශ්‍යතාව චීනය හා ඇමරිකාව අවධාරණය කළේ ය. ඇමරිකාව ජාතිකාරක්ෂාව හුවාදක්වමින් ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග දෙරට ආර්ථික හා වෙළඳ සම්බන්ධතාවට හානිකර වන බව ද චීන බලධාරීන් පෙන්වා දී තිබේ. එසේම, චීනය සමග පවතින ආර්ථික සබඳතාවෙන් බැහැර නොවන බව යළි පැවසූ Yellen මහත්මිය ‘අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හා පොදු-ජයග්‍රාහී බව’ අත්පත් කරගැනීම පිළිබඳ ප්‍රතිඥාවක් ද ලබා දුන්නා ය.

චීනය හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපනය කර ගතවූ දශක 4 කට වැඩි කාලයක් තුළ පවත්වා ගැනුණු ආර්ථික හා වෙළඳ සහයෝගිතා ද්විපාර්ශ්වික සබඳතාව ශක්තිමත් කර ඇත. එහෙත්, ‍2018 වසරේ මාර්තු මාසයේ දී, ඇමරිකාව අත්තනෝමතික ව චීනයට එරෙහි වෙමින් වෙළඳ ආරවුලක් ඇති කළේ ය. එසේම, ජෝ බයිඩන් රජය බලයට පැමිණීමෙන් පසු, ඊට පෙර පැවති රජය චීනයට පැණවූ අතිරේක තීරුබදු ප්‍රතිපත්ති එලෙසම අනුගමනය කර තිබේ. චීනයට එල්ල කරන පීඩා තවදුරටත් උග්‍ර වීම ද කැපී පෙනේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ, දෙරට රාජ්‍ය නායකයෝ බාලි දූපතේ හමුවූ අවස්ථාවේ දී වැදගත් එකඟතාවන්ට එළඹුණහ. Yellen මහත්මියගේ මෙවර චීන සංචාරය එම එකඟතාවන්ට යළි අනුගත වීමක් ලෙස සැලකේ.

එසේ ම, Yellen මහත්මිය සමග පැවති සාකච්ඡා  ‘ධනාත්මක’ බව චීනයේ අදහස යි. සිය සංචාරය නිමා කරමින් ඇය පවසා ඇත්තේ ද, චීනය සමග පැවති හමුවීම් ‘ඍජු හා ඵලාදයී’වූ බව යි.  රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමෙන් පසු දෙරට සම්බන්ධතාව  බිඳවැටී පහතම මට්ටමක පවතින වර්තමානයේ, දෙපාර්ශ්වයේ එවැනි ප්‍රකාශ දෙරට සබඳතාවට හිතකර වනු ඇත. එසේම එම තත්ත්වය ජගත් ප්‍රජාවේ අපේක්ෂාවට ද අනුකූල වේ.

වර්තමානයේ චීනය, තමාට අනන්‍ය වූ ලක්ෂණයන්ගෙන් යුත් නවීකරණය තහවුරු කරමින් සිටී. ඇමරිකාව ඇතුළු විවිධ රටවල් සමග සහයෝගිතා වැඩිදියුණු කරමින් ඒකාබද්ධ සංවර්ධනය ඉදිරියට මෙහෙයවීමට ද චීනය සූදානමින් පසුවෙයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම