චීනය කොළඹ වරාය නගරයේ දැවැන්ත ආයෝජනයක
2023-06-27 15:48:45
Share with:

මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක් කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක මුදලක් කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට සූදානම් බව චීනයේ චයිනා හාබර් ඉංජිනේරු සංස්ථාව (CHEC) පවසයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් මේ වසර ඇතුළත අදාළ මුදල කොළඹ වරාය නගරයේ ආයෝජනය කරන බව එම සමාගමේ සභාපති Bai Yinzhan මහතා කියාසිටී. ඔහු මේ බව ප්‍රකාශ කළේ චීනයේ බෙයිජිං හි පිහිටි චයිනා හාබර් ඉංජිනේරු සංස්ථා මූලස්ථානයේ ඊයේ (26) පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. චීනයේ චාරිකාවක නිරත විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණ.

රටේ ආර්ථිකය යහපත් මට්ටමකට රැගෙන යාමේ දී මෙම ආයෝජනය ඉතා වැදගත් බව මෙහිදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම පෙන්වා දී තිබේ. චීනයේ ශ්‍රී ලංකා තානාපති, ආචාර්ය පාලිත කොහොන මහතා ද මෙම සාකච්ඡාවට එක්විය.

මේ අතර, අලි සබ්රි මහතා චීන එක්සිම් බැංකුවේ සභාපති Wu Fulin මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් සමග ද සාකච්ඡා පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රකෘතිමත්භාවය සහ වර්ධනය වෙනුවෙන් චීනය සහාය දෙන බවට චීන එක්සිම් බැංකු සභාපතිවරයා සහතික වූ  බව ද අමාත්‍යවරයා පැවසීය.

චීනයේ දී අද (27) ආරම්භ වන ලෝක ආර්ථික සමුළුවට ද අලි සබ්‍රි මහතා  සහභාගි වනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම