චීනයේ අඛණ්ඩ සහයට අගමැතිගෙන් ඉහළ පැසසුම්
2023-06-27 15:43:40
Share with:

චීනය, ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහය ඉතා ඉහළින් අගය කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ, ශ්‍රී ලංකාවේ චීන තානාපති  Qi Zhenhong  මහතා කොළඹ අරලියගහ මන්දිරයේ දී ඊයේ (26) හමුවූ අවස්ථාවේ යි.

ආර්ථික අර්බුදවලට දීර්ඝකාලීන විසඳුම් සෙවීමේ දී චීනයේ සෘජු ආයෝජන අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය. එසේම, කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණ, අධ්‍යාපන සහ ජල සම්පාදන ක්ෂේත්‍රවල ආයෝජන ඉතා වැදගත් බව ද ඔහු කියාසිටියේය.

චීනයේ යුනාන් ප්‍රාන්තයේ නිෂ්පාදනය කරන ලද ඉහළ අස්වැන්නක් සහිත සහල් වර්ග හඳුන්වා දී මෙරට වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා  සහය වන ලෙස ද අග්‍රාමාත්‍යවරයා චීන තානාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

 චීන තානාපතිවරයා මෙහිදී  පැවසුවේ, දුෂ්කරතා මඟහරවා ගැනීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න පිළිබඳව සතුටු වන බව යි. එසේම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ආර්ථික අභියෝග ජයගැනීම සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට ද හෙතෙම සහතික විය.  බදුල්ල සහ බුත්තල වැනි දුෂ්කර ප්‍රදේශවල පාසල්වල අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට සැලසුම් කර ඇති බවද ඔහු කියාසිටියේය. ජාත්‍යන්තර මට්ටමේ  ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ක්‍රියාකරන බව ද Qi Zhenhong  මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සමනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර සමුළුවල දී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකීමට චීනය ලබා දෙන සහය අග්‍රාමාත්‍යවරයාගේ සුවිශේෂ පැසසුමට ලක්විය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම