සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ගැටළු විසඳා ගැනීමට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි
2023-06-24 14:49:46
Share with:

ගෝලීය සංවර්ධනයේදී පවතින මූල්‍ය පරතරය හමුවේ, සංවර්ධනය වෙමින් පවතින රටවල, විශේෂයෙන් අවදානමට ලක්විය හැකි රටවල ගැටලු විසඳීම සඳහා අවංකව, සහයෝගීව සහ එක්ව කටයුතු කරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා පවසයි.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය නායකයින් 60 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේ සමාප්ති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී විශේෂ දේශනයක් සිදු කරමින්, ලි ච්‍යං මහතා යෝජනා තුනක් ඉදිරිපත් කළේය. පළමුවැන්න, ගෝලීය මූල්‍ය පාලනයේදී දැඩි ප්‍රතිසංස්කරණ සිදු කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ස්ථාවර මූල්‍ය පරිසරයක් නිර්මාණය කිරීමයි. දෙවැනි යෝජනාව වන්නේ, ගෝලීය සංවර්ධන හවුල්කාරිත්වයක් ගොඩනඟා ගනිමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට වැඩි සම්පත් ප්‍රමාණයක් ලබා දීමයි. අවසාන යෝජනාව වූයේ සංවර්ධනය වෙමින් පවතින රටවලට නව වර්ධන ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා ආර්ථික ගෝලීයකරණය සහ නිදහස් වෙළඳාම ස්ථාවර ලෙස ඉදිරියට ගෙන යාමයි.

ලොව පුරා පවතින අසමානතාවය සහ දරිද්‍රතාවය අවම කිරීම, දේශගුණික විපර්යාසවලට නිසි ප්‍රතිචාර දැක්වීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ණය ගැටලු විසඳීම සහ ගෝලීය තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීමේ වැදගත්කම මෙම සමුළුවට සහභාගී වූ නායකයෝ අවධාරණය කළහ.

ජර්මනියේ සහ ප්‍රංශයේ නිල සංචාරයක නිරත වෙමින්, හත්වන චීන-ජර්මන් අන්තර් රාජ්‍ය උපදේශන වටය අවසන් කර, නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට ද සහභාගී වීමෙන් පසු චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා අද(24) යළි බෙයිජිං නගරය වෙත පැමිණියේය.

ගුවන් විදුලිය
20241123සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම