පොදු ඉරණමක් සහිත මානව සමාජයක් වෙනුවෙන් කැපවන චීන ජනපති
2023-06-19 14:07:32
Share with:

‘ලොව සියලු රටවලට තමාට අභිමත, ස්වාධීන සංවර්ධන මාර්ගයක ගමන් කිරීමට අයිතිය ඇත’ යන්න චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ දැක්මෙහි අන්තර්ගත පුළුල් සංකල්පයක් බව ශ්‍රී ලංකා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ප්‍රගීතිකා ජයසේකර මහත්මිය කියාසිටී. මේ නිසාම ලොව සංවර්ධනය වෙමින් පවතින රාජ්‍ය මුහුණ පාන විවිධ අභියෝගයන්ට නිසි විසඳුම් ලබාදීමේ අරමුණින් හෙතෙම ප්‍රායෝගික යෝජනා ලොවට ඉදිරිපත් කළේය. ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ වැනි සංකල්ප මෙහි ලා ප්‍රමුඛ වේ.    

‘එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ’ යටතේ චීනය සහ සෙසු රටවල් ගණනාවක් අතර සබඳතා බොහෝ සෙයින් පුළුල් කරනු ලැබීය. අධ්‍යාපන පහසුකම් හුවමාරු වැඩසටහන් රැසක් ද මේ අතර වේ. ශ්‍රී ලංකාවේ සිසුන් විශාල පිරිසකට චීනයේ අධ්‍යාපනය ලැබීමට ද මෙහිදී අවස්ථාව උදාවිය. මෙය දෙරට අතර පවතින සම්බන්ධතාව තවදුරටත් තහවුරු කෙරුණු අවස්ථාවකි.

එසේම, අධ්‍යාපනය යනු රටක අනාගතය තීරණය කරන ප්‍රබල සාධකයක් බව චීන ජනාධිපතිවරයා බොහෝ අවස්ථාවන් හි පෙන්වා දී තිබේ. සමස්ත ලෝ වැසියන්ට සමාන අවස්ථා හිමිවිය යුතුය යන චීන ජනාධිපතිවරයාගේ සංකල්පය පෙරදැරිව චීනය උසස් මට්ටමේ අධ්‍යාපන සබඳතා විවිධ රටවල් සමග පවත්වාගෙන යයි. ඒවා ආසියානු මෙන්ම අප්‍රිකානු කලාපය දක්වා ද සාර්ථකව ව්‍යාප්තව පැවතීම අතිශය ප්‍රශංසනීය බව ද ජයසේකර මහත්මිය පවසයි.

වර්තමාන ලෝකයේ පවතින විවිධ විපර්යාස හමුවේ කිසිදු රටකට තනිව පැවතිය නොහැකි බවත්, සංවර්ධනය සාක්ෂාත් කිරීමේ දී අන්‍යොන්‍ය සහයෝගය ඉතා වැදගත් සාධකයක් බවත් චීන ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබ තිබේ. මේ සහයෝගී පිළිවෙත චීනයේ ක්‍රියාකාරකම්වලින් මනාව පිළිබිඹු වන බව ද ප්‍රගීතිකා ජයසේකර මහත්මිය කියාසිටී. ගංවතුර හෝ ස්වාභාවික විපත් වැනි  හදිසි අවස්ථාවල දී මෙන්ම දිගුකාලීන සංවර්ධන ව්‍යාපෘතිවල දී ත් චීනය සහාය වන්නේ ඉතා මිත්‍රශීලී ප්‍රවේශයන් ඔස්සේ බව ද ඇය පෙන්වාදෙයි.

මේ වසරේ යෙදෙන ‘එක් තීරයක් එක් මාවතක්’ දස වැනි සංවත්සරය නිමිති කර ගනිමින් දෙරට අතර අධ්‍යාපන සහයෝගිතාව තවදුරටත් පුළුල් වේවා යන්න අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ප්‍රගීතිකා ජයසේකර මහත්මියගේ ප්‍රාර්ථනය යි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම