ඩෙංගු ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්
2023-05-10 18:07:39
Share with:

ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.  ඒ අනුව, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (09) සියලු පළාත් ලේකම්වරුන්ට ඒ බව ලිඛිතව දැනුම් දුන්නේය.

ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍යතාවයන් අනුව, ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහය ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට උපදෙස් දී ඇත. ගෙවී ගිය සතිය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 1896ක් වාර්තා වී අතර, සමස්ත රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. එය ආසන්න ප්‍රතිශතයක් ලෙස සියයට 49 ඉක්මවා ඇත.

රෝග නිවාරණය වෙනුවෙන් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ ඒ යටතේ ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව පළාත් ප්‍රධාන ලේකම්වරු අද තහවුරු කළහ.

මේ අතර සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශවල මැදිහත්වීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා ජනතාවගේ ද සහාය උපරිමයෙන් අවශ්‍ය වන බවයි.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම