නොසැලෙන අධිෂ්ඨානය චීනය සාර්ථකත්වය කරා රැගෙන යනු ඇත
2023-05-04 09:39:54
Share with:

චීනය තම ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව ඉහළින් සලකන රාජ්‍යයකි. එනිසාම සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට කිසිසේත් මැදිහත් නොවන චීනය මනා සහයෝගිතා පිළිවෙතකින් ලෝකය හා එක්ව ඉදිරි ගමනක නිරතව සිටින බව, චීනයේ වෙසෙන ආචාර්ය උපාධි අපේක්ෂක,  බෙයිජිං විදේශ භාෂා  විශ්වවිද්‍යාලයේ චීන භාෂා කථිකාචාර්ය අසේල ප්‍රභාත් මහතා පෙන්වාදෙයි. ශිෂ්‍යයෙකු මෙන්ම කථිකාචාර්යවරයෙකු ලෙස චීනයේ ගත කළ කාලය තුළ තමා චීනයේ නිසි සැලසුම් සහගත සංවර්ධනය සියැසින් දුටු බව ද ඔහු කියාසිටී.

චීනය සංවර්ධනය වන්නේ තම රටට මෙන්ම ජනතාවට ගැලපෙන, අනන්‍ය වූ සංවර්ධන මාර්ගයක් ඔස්සේ ය. එය ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ ගවේෂණ හා පර්යේෂණ ඇසුරින් ගොඩනගා ගත් ක්‍රමවේදයකි. යුගයට සරිලන අයුරින් එය යාවත්කාලීන කිරීමට ද චීන බලධාරීහු පියවර ගනිති. වර්තමාන යුගයේ එය චීන අනන්‍යතාව සහිත නවීකරණයෙන් සමන්විත වෙයි. ජාත්‍යන්තර තලයේ පෙර නොවූ විරූ පසුබෑම් හා අභියෝග පවතිද්දීත් ප්‍රබල විභවතාවක් සහිත මනා ස්ථාවරයකින් යුතු ආර්ථිකයක් චීනයට ගොඩනගා ගත හැකිව ඇත්තේ ද මේ නිසා බව කථිකාචාර්යවරයා පෙන්වාදෙයි. මෙම වසරේ චීනය අත්පත් කරගත් ආර්ථික ස්ථාවරත්වය ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව ද ඉහළ නංවා තිබේ.

චීනයේ මෙම ක්‍රමික හා සැලසුම් සහගත සංවර්ධනය හේතුවෙන් ඔවුන්ට ජාත්‍යන්තර තලයේ බොහෝ අභියෝගවලට ද මුහුණ දීමට සිදුව තිබේ. බටහිර රටවල විවිධ විවේචන මෙන්ම පදනම් විරහිත චෝදනා ද ඒ අතර වේ. චීනය කලාපීය වශයෙන් විවිධ රටවල් සමග අත්පත් කරගන්නා සහයෝගිතා බැඳීම් පවා අන්තවාදී අයුරින් අර්ථ නිරූපණය කිරීමට ඔවුහු පසුබට නොවෙති. එහෙත් චීනය මේ කිසිදු චෝදනාවක් නිසා තම අඛණ්ඩ ඉදිරි ගමන අත්නොහරිනු ඇත.

චීනය සතු නොසැලෙන අධිෂ්ඨානශීලීත්වය ඔවුන් සාර්ථකත්වය කරා රැගෙන යනු ඇතැයි ද චීන භාෂා කථිකාචාර්ය අසේල ප්‍රභාත් මහතා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම