චීනයට එරෙහි ඇමරිකාවේ සතුරු බලය උත්සන්න වීමට හේතුව කුමක් ද?
2023-04-28 09:02:29
Share with:

ගෝලීය වශයෙන් රටවල් අතර ද්වීපාර්ශ්වික සබඳතා පිළිබඳව සලකා බැලීමේ දී චීන ඇමරිකා සබඳතාවය යනු ලෝකයේ දේශපාලන හා ආර්ථිකමය වශයෙන් වැඩිම බලපෑමක් කළ හැදි උපායමාර්ගික සබඳතාවකි. නමුත් මෑත කාලීනව මේ රටවල් අතර උණුසුම් සහගත තත්ත්වයක් ඇති වී තිබෙන අතර විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් චීනයට එරෙහිව සතුරු ආකල්පයෙන් ක්‍රියා කරන ආකාරය නිරීක්ෂණයට ලක්ව ඇතැයි විදේශ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනී, නීතිඥ සුලෝ විජයසිංහ මෙනවිය පවසයි.

ඇමරිකාව චීනය දෙස සතුරු ආකල්පයෙන් දැකීමට හේතුව කුමක් ද? මෙයට හේතු වී ඇති ප්‍රධාන කාරණා මොනවාද? එක් කරුණක් නම් රුසියානු සමූහාණ්ඩුවේ බිඳ වැටීමෙන් පසු බලය අතට ගත් ඇමරිකාව ලෝක දේශපාලන සහ ආර්ථික වශයෙන් ආධිපත්‍යයක් ගොඩ නඟා ගැනීමට උත්සාහ කළ අතර එම බලයට අභියෝග කිරීමට කිසිවකුටත් ඉඩ නොතැබීමට නිරන්තර උත්සාහයක නිරත වීමයි. නමුත් ලෝක බල තුලනය වෙනස් කිරීමට සමත් වූ ප්‍රධානම සාධකය වන්නේ චීනය බලවත් රටක් සේ නැඟී සිටීම වේ. වර්තමානය වන විට චීනයේ ආර්ථික හා තාක්ෂණික දියුණුව ඇමරිකාවේ ආර්ථිකයට හා තාක්ෂණික දියුණුවට විශාල අභියෝගයක් වෙමින් පවතී. මෙය මීට පෙර කිසිඳු රටකට කළ නොහැකි දෙයක් විය. නාමික දළ දේශීය නිෂ්පාදනයේ අගයන් ගණනය කළ විට ඇමරිකාව ලෝකය තුළ ලොකුම ආර්ථිකය වුවත් ඉතාම කෙටි කලකින් චීන ආර්ථිකය, ඇමරිකානු ආර්ථිකය අභිබවා යනු ඇති බවට ලෝක ආර්ථික විශේෂඥයින් අපේක්ෂා පළ කර ඇති බව ද සුලෝ විජයසිංහ මෙනවිය පැවසුවාය. ඇමරිකාවට වඩා චීනය තුළ සිව් ගුණයකින් වැඩි ජනගහනයක් සිටී. ඔවුන්ගේ මධ්‍යම පංතිය ඉතා විශාල වේගයකින් පුළුල් වෙමින් පවතින අතර ජනතාවගේ ශ්‍රම ඵලදායීතාව ඉතා ඉහළ වේගයකින් වැඩි වෙමින් පවතී.

රටක ජනගහණය එරට ජීවනාලිය බවට පත්වන්නේ ජනගහණයේ පවතින ගුණාත්මකභාවය සහ ශ්‍රමික සම්පත් ප්‍රබලතාවය මත යි. කොවිඩ් වසංගතයෙන් පසුවද චීනය දශක ගණනාවක සිට පවත්වාගෙන එනු ලබන ආර්ථික වර්ධන වේගය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම සිදු කරයි. දැවැන්ත ශ්‍රමික සම්පත චීනයට කැපී පෙනෙන ප්‍රතිලාභයක් වන අතර චීනයේ සමාජ සහ ආර්ථික වේගවත් සංවර්ධනයත් සමඟ අධ්‍යාපනය මෙන්ම විද්‍යා තාක්‍ෂණය සඳහා වූ ආයෝජනය ද පුළුල්වෙමින් පවතින බව විදේශ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනී, නීතිඥ සුලෝ විජයසිංහ මෙනවිය පෙන්වා දේ.

ට්‍රම්ප් අවධියේ පටන් ආරම්භ කළ වෙළඳ යුද්ධය මේ වන විට චීනයේ හුවාවි සමාගමට මෙන්ම ටික් ටොක් තහනම වැනි ක්‍රියා හරහා පෙන්නුම් කරන්නේ චීනය ආර්ථිකමය හා තාක්ෂණික වශයෙන් ඇමරිකාව අභිබවා යනු ඇතැයි යන බිය හේතුවෙන් ‍බව පෙන්වා තිබේ. 2021 වසරේ දී ඇමරිකානු ජනාධිපති බයිඩ්න් ප්‍රතිඥා දෙනු ලැබූයේ ඇමරිකාව අභිබවා චීනයට නැඟී සිටීමට ඉඩ නොදෙන බවයි. මෙවන් ප්‍රකාශ වලින් පෙනී යන්නේ චීනයට සතුරු බලපෑම් මේ තරම් ඇමරිකාවෙන් එල්ල වීමට හෙතුව චීනයේ ආර්ථික, තාක්ෂණික ජයග්‍රහණ යැයි විදේශ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනී, නීතිඥ සුලෝ විජයසිංහ මෙනවිය කියා සිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම