චීනය පිළිබඳ වැරදි ප්‍රතිරූප ජනතාවට සම්ප්‍රේෂණය කරන්නේ බටහිර මාධ්‍ය විසිනි
2023-04-27 10:14:25
Share with:

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල චීනයට එරෙහි මතවාද ගොඩනගන්නේ බටහිර ජනමාධ්‍ය විසින් බව කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ කථිකාචාරිනී කුමේෂ් ප්‍රභාෂිණී ගමගේ මෙනෙවිය කියාසිටී. කලාපීය රටවල් චීනය කේන්ද්‍ර කර‌ගෙන සංවර්ධනය වෙමින් පැවතීම සම්බන්ධයෙන් ඇමරිකාව, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් බියෙන් පසුවීම ඊට හේතුව බවත් ඇය පෙන්වාදෙයි.

ලොව බොහෝ රටවල් අතර ඇතිවන ගැටුම් හා අර්බුදවලට බලපාන්නේ එම රටවල් අතර ඇති භූ දේශපාලනික කරුණු ය. චීනය සම්බන්ධයෙන් සැලකීමේ දී ඇමරිකාව එංලගන්තය ප්‍රමුඛ යුරෝපා රටවලට ඇති ප්‍රධානම ප්‍රශ්නයක් වන්නේ චීනයේ පිහිටීමයි. චීනය ආසියානු කලාපයේ අතිශය වැදගත් තැනක පිහිටා ඇති අතර, කලාපීය සෙසු රටවල් එරට කේන්ද්‍ර කරගනිමින් සංවර්ධනය වෙමින් පවතී. එම රටවල් උපායමාර්ගිකව සංවර්ධනය කිරීම උදෙසා චීනය එක් තීරයක් එක් මාවතක් වැනි වැඩසටහන් හඳුන්වා දී ඇත. එසේම, අතීතයේ සමුදුරු සේද මාවත හා බැඳුණු රාජ්‍ය දේශපාලනික, ආර්ථික හා සමාජයීය වශයෙන් සංවර්ධනය කිරීමට ද චීනය කටයුතු කරමින් සිටී. මෙම සංවර්ධනයේ දී නිෂ්පාදන, කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා තාක්ෂණික අතින් චීනයට ඉහළ ධාරිතාවක් පවතින බව ද කථිකාචාර්යවරිය පවසයි.

එහෙත් ශ්‍රී ලංකාව වැනි රාජ්‍යවල ඇතැම් පිරිස්  චීනය දෙස වපරැසින් බැලීමට මූලික වශයෙන් බලපා ඇත්තේ එම රටවල වැඩිහිටි මෙන්ම තීරණ ගන්නා වයස් කාණ්ඩයේ සිටින ජනතාව තවමත් ප්‍රධාන මාධ්‍ය ධාරාව ලෙස පුවත්පත් හා රූපවාහිනී වැනි සාම්ප්‍රදායික ජනමාධ්‍ය භාවිත කිරීමයි. චීනයේ සහයෝගයන් තුළ යටි අරමුණු පවතින්නේය වැනි මතවාද ගොඩනගන්නේ රොයිටර්ස්, CNN, BBC හා අල්ජසීරා වැනි මාධ්‍ය විසිනි. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති මූලාශ්‍ර සියල්ල බටහිර රටවල ඒවා ය. තමන්ට අවශ්‍ය පරිදි ආසියාව යටත් කර ගැනීමට නොහැකි වීම නිසාත්, තමන් ලොව පුරා පතුරුවන අධිරාජ්‍යවාදයට හානි සිදුවෙතැයි යන බිය නිසාත් තම මාධ්‍ය ඔස්සේ චීනයට එරෙහි  මතවාද ගොඩනගමින් වැරදි ප්‍රතිරූප නිර්මාණයට ඔවුහු උත්සාහ දරමින් සිටිති. එහෙත් නව සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ  චීනයට තම රට සතු ප්‍රතිරූපය සහ පුළුල් ආකල්ප නිවැරදිව ලෝකවාසීන්ට ඉදිරිපත් කළ හැකිවනු ඇතැයි ද කථිකාචාරිනී කුමේෂ් ප්‍රභාෂිණී ගමගේ මෙනෙවිය පෙන්වාදෙයි. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම