බටහිර රටවල දැඩි කනස්සල්ලට හේතු වී ඇත්තේ චීනයේ මනා ආර්ථික ස්ථාවරය යි
2023-04-21 09:32:16
Share with:

ලොව සෑම රටක්ම සෙසු රටවල භෞමික අඛණ්ඩතාවට සහ ස්වෛරීත්වයට ගරු කළ යුතුය යන්න ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මූලධර්මයකි. එහෙත්, ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් තම අරමුණු සපුරා ගැනීම වෙනුවෙන් වෙනත් රටවල විවිධාකාර අර්බුද නිර්මාණය කරන බව ප්‍රවීණ මාධ්‍යවේදී රොෂාන් රුබේරු මහතා කියාසිටී. ඉරාකය, ඇෆ්ගනිස්තානය වැනි නිදර්ශන රැසක් මේ සඳහා ගෙනහැර පෑ හැකි බව ද ඔහු පෙන්වාදෙයි.

වර්තමානය වනවිට බටහිර රටවල දැඩි කනස්සල්ලට හේතු වී ඇත්තේ චීනය ආර්ථික අතින් අත්පත් කර ගනිමින් සිටින මනා ස්ථාවරය යි. මේ නිසා චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් ගැටුම් ඇති කර, එරට ඉදිරිගමන අඩාල කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වී තිබේ. කෙසේවෙතත්, මේ වනවිට චීනය ලබාසිටින ආර්ථික ප්‍රගතිය ගෝලීය  ආර්ථිකයට ද මනා පිටුබලයක් සපයා ඇති බව ලෝක බැංකු ප්‍රධානි ඩේවිඩ් මැල්පාස් මහතා ද පෙන්වා දී ඇත. 2023 වසර සඳහා ජනවාරි මාසයේ දී ලෝක බැංකුව කළ ගෝලීය වර්ධන පුරෝකථනය 1.7% සිට 2% දක්වා ඉහළ නැංවිය හැකිවූයේ ද චීනයේ ස්ථාවර ආර්ථික ඉදිරිදැක්ම නිසා බව ඔහු පැවසීය. මෙය චීනයේ සාර්ථකත්වය පිළිබඳ මනා සහතිකයක් බව රුබේරු මහතා කියාසිටී.

එසේම, චීනය ඉදිරියට යන්නේ සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවලට සහයෝගයේ දෑත දිගුකරමිනි. ඒ අනුව ආසියානු කලාපයේ පිබිදීමක් සිදුවනු දැකීමට ද බටහිර රටවල කැමැත්තක් නැත. මෙවැනි තත්ත්වයන් නිසාම විවිධ සම්බාධක පනවමින් චීනයේ ආනයන අපනයන ගනුදෙනුවලට බාධාකිරීම, තායිවාන ප්‍රදේශයේ ස්වාධීනත්වයක් පිළිබඳ ඊනියා කරුණු හුවාදක්වමින් චීනය අප්‍රසාදයට ලක්කිරීම  වැනි ප්‍රයත්නවල ඔවුන් නියැලෙන ආකාරයක් ද නිරීක්ෂණය කළ හැකිය.

කෙසේවෙතත් චීනය නිරතව සිටින සංවර්ධනීය ඉදිරි ගමන ආත්මාර්ථකාමී උත්සාහයන්ට පරාජය කළ නොහැකි වනු ඇත. ඔවුන් විවිධ ගෝලීය  විපර්යාසයන්ට ප්‍රායෝගිකව අනුගත වෙමින්, මූල්‍ය සහ ආර්ථික ප්‍රතිපත්ති සකසා ගන්නේ දිගුකාලීන සැලසුම් ඔස්සේ යි. මේ නිසා ඔවුන් සාර්ථකත්වයේ ජයග්‍රහණ සාක්ෂාත් කරනු ඇතැයි ද  ප්‍රවීණ මාධ්‍යවේදී රොෂාන් රුබේරු මහතා පවසයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම