බෙයිජිං හි පැවති සෞදි අරාබි-ඉරාන සාකච්ඡාවලින් පසු මැදපෙරදිග කලාපයේ සාමය හා සංවර්ධනය පිළිබඳ සුබ ලකුණක්
2023-04-10 19:46:20
Share with:

සෞදි අරාබිය හා ඉරානය චීනයේ බෙයිජිං අගනුවර දී සාකච්ඡා පවත්වා අද දිනට (10) මාසයක් සම්පූර්ණ වේ. ගෙවුණු මාසය තුළ මැදපෙරදිග කලාපයේ සාමය හා සංවර්ධනය පිළිබඳ සුබවාදී සලකුණු වරින් වර දැක ගත හැකි විය.

පසුගිය 8වැනි දා සෞදි අරාබිය හා ඉරානය එම රටවල්වල තානාපති කාර්යාල යළි විවෘත කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වීය. ඒ සමගින් යේමනයේ සාම ක්‍රියාදාමය ධනාත්මක අදියරකට ප්‍රවේශ වෙමින් පවතී. මීට අමතරව, සෞදි අරාබිය හා සිරියාව ද සිය තානාපති කාර්යාල යළි විවෘත කිරීමේ එකඟතාවයකට එළඹ තිබේ. 2011 වසරේ සිරියානු අර්බුදය උද්ගත වූ අවස්ථාවේ සෞදි අරාබිය සිරියානු රජයට එරෙහිව කටයුතු කළ බැවින් දෙරටේ සම්බන්ධතා බිඳ වැටිණ. අරාබි ලීගය සිරියාවේ සාමාජිකත්වය අහෝසි කළේ ද එම කාලයේදී ය. මෑතකදී සෞදි අරාබිය හා සිරියාව අතර පවතින සම්බන්ධතාවයන් යථා තත්ත්වයට පත් වීමත් සමග සිරියාව ආපසු අරාබි ලීගයට එක්වීමට ඉඩකඩ පවතින බව විශ්වාස කෙරේ. මේ අතර, ද්විපාර්ශ්වික සම්බන්ධතා දැනට තිබෙන මට්ටමේ සිට රාජ්‍ය තාන්ත්‍රික මට්ටම දක්වා ඉහළ නංවා ගැනීම පිළිබඳ පසුගිය දා තුර්කිය හා ඊජිප්තුව කළ ප්‍රකාශය, මැද පෙරදිග කලාපයේ සාම ක්‍රියාවලිය වඩාත් ඉදිරියට ගෙන යාමට තුඩු දී ඇත.

දීර්ඝ කාලයක් පුරාවට මැද පෙරදිග කලාපයේ පවතින සංකීර්ණ තත්ත්වය පිළිබඳ සලකා බලන විට ගෙවුණු මාසයේ ඇති වූ මෙවන් සිදුවීම්වලින් ධනාත්මක සංඥා නිකුත් වී තිබේ. දිගුකාලීන යුධ ගැටුම්වලින් පීඩිත වූ මැද පෙරදිග රටවලට පැහැදිලිවම අවශ්‍ය වන්නේ සාමකාමී සංවර්ධනයක් සහිත පරිසරයකි. ඇමරිකාව මෙන් නොව මැද පෙරදිග කලාපයේ සාමය හා සංවර්ධනය වෙනුවෙන් චීනය අවංකව කටයුතු කරයි. එබැවින් චීනය මැද පෙරදිග රටවල විශ්වාසය ක්‍රමයෙන් දිනාගැනීමට සමත් වී ඇත. මීට මාසයකට පෙර චීනයේ මැදිහත් වීමෙන් සෞදි අරාබිය හා ඉරානය එකිනෙකා අතර දිගුකාලීනව පැවති එදිරිවාදීකම් පසෙක ලා සුහද සම්බන්ධතාවක් යළි ගොඩනැඟීමට ගත් තීරණය එයට කදිම උදාහරණයකි.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම