අර්බුදය ජයගැනීමට සියලුදෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි
2023-04-09 14:08:55
Share with:

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට  සියලුදෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එම අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානි පීටර් බෘවර් මහතා පෙන්වා දෙන්නේ, විදේශ ණය සහන ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වීමට පටන්ගෙන ඇති බවයි. කාලයක් තිස්සේ පැවති ආර්ථික ගැටලු සහ වැරදි ප්‍රතිපත්තිමය තීන්දු හේතුවෙන් ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දීමට සිදු වූ බව ද ඔහු පැවසීය.

පවතින තත්ත්වයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරි වසර 04 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 03ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති අතර, මෙම අර්බුදය විසඳීමට සියලුදෙනා එක්විය යුතු බව ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය ආදායම ඉහළ නැංවීම, මූල්‍ය ස්ථාවරත්වයක් ඇතිකිරීම, විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සහ ණය සහන ලබාදීම සඳහා නව ආර්ථික ප්‍රතිසංස්කරණ මේ වන විටත් රජය හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ ස්ථාවර අනාගතයක් උදෙසා  සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද පීටර් බෘවර් මහතා කියාසිටී.

 

 

 

 

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම