බාධා පමුණුවන්නන්ට හෝ චෝදනා නගන්නන්ට චීනයේ ඉදිරි ගමන නවතාලිය නොහැකි ය
2023-04-06 09:32:23
Share with:

බාධා පමුණුවන්නන්ට හෝ චෝදනා නගන්නන්ට චීනයේ ඉදිරි ගමන නවතාලිය නොහැකි බව නීතිවේදිනි ශ්‍යාමා නානායක්කාර මහත්මිය කියාසිටී. තම අවශ්‍යතාවන්ට ගැලපෙන සංවර්ධන මාර්ගය නිවැරදිව හඳුනාගෙන සිටින චීනය,  නූතන ලෝකයේ සංවර්ධනය පිළිබඳ අතිශය සාර්ථක ආදර්ශනය බවට පත්ව ඇති බව ද ඇය පෙන්වාදෙයි.

අභියෝගාත්මක අතීතයක සිට චීනය මෙතරම් සංවර්ධනීය යුගයක් කරා පැමිණියේ ආත්ම ධෛර්යය නිසා පමණක් නොවේ. නිසි කලට නිසි සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූ නිසාය. ආර්ථිකය යනු කිසියම් රටක ස්ථාවරත්වයේ පදනම යි. මෙය මනාව පසක් කළ චීන බලධාරීහු කුමන අභියෝගාත්මක පසුබිමක වුව ආර්ථික ස්ථාවරය පවත්වා ගැනීමට ක්‍රියාකළහ. කොරොනා වසංගතය හමුවේ ගෝලීය වශයෙන් ශක්තිමත්  ආර්ථිකයන්ට හිමිකම් කී රටවල් පවා දරුණු අසීරුතාවන්ට මුහුණ පෑ අතර, තවමත් බොහෝ රටවල් ප්‍රකෘති තත්ත්වයට පත්ව නැත. 

මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව වැනි ගෝලීය මූල්‍ය ආයතන 2023 වසරේ ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහත දමා තිබේ. එහෙත්, මේ වසරේ චීන දළ දේශීය නිෂ්පාදිතයේ අපේක්ෂිත වර්ධනය 5%ක් බව චීන රජය ප්‍රකාශ කර තිබීම කැපීපෙනෙන කරුණකි. වසංගත පාලනය යහපත් අතට හැරීම, ‍චීන වෙළඳපොළ වඩාත් සක්‍රිය වීම, දේශීය පරිභෝජනය හා නිෂ්පාදනය ක්‍රමයෙන් විධිමත් වීම හේතුවෙන් මෙම අපේක්ෂිත ඉලක්කය කෙරෙහි චීනය පමණක් නොව ජගත් ප්‍රජාව ද විශ්වාසය තබන බව බොහෝ රාජ්‍යතාන්ත්‍රිකයන් පවසා ඇති බව ද නානායක්කාර මහත්මිය සිහිපත් කරයි.

මෙවැනි අවස්ථාවල දී කුමන ආකාරයකින් හෝ අපහාස එල්ල කර ජාත්‍යන්තර තලයේ චීනය අපහසුතාවට පත්කිරීමට ඇමරිකාව පියවර ගන්නා ආකාරයක් දැකිය හැකිය. චීනයෙන් ලොවට තර්ජනයක් එල්ල වන බව හෝ චීනය වෙනත් රටවල් ණය උගුල්වල සිර කරන බව පවසමින් මාධ්‍ය වාර්තා පළකිරීම, චීනයේ නිෂ්පාදනයන්ට වෙළඳපොළ සම්බාධක පැණවීම වැනි අසාර්ථක ප්‍රයත්නයන් හි ඔවුන් බොහෝවිට නිරත වනු පෙනේ. කොවිඩ් වෛරසයේ මූලාශ්‍රය ගැන හෝ යළි පදනම් විරහිත ප්‍රකාශ ඉදිරිපත් කරමින් චීනයට චෝදනා නැගීම ඔවුන්ගේ සාමාන්‍ය පිළිවෙත බවට පත්ව තිබේ.

එහෙත් චීනය මේ කිසිවක් නොතකා, නිසි ඉලක්ක හා අරමුණු සහිත තම ඉදිරි ගමනේ නිරතව සිටී. ලෝකය සමග අන්‍යොන්‍ය වශයෙන් සංවර්ධන අවස්ථා බෙදාගන්නා චීනයේ ගෝලීය සහයෝගිතා පැවැත්ම ප්‍රශංසනීය වන බව ද නීතිවේදිනි ශ්‍යාමා නානායක්කාර මහත්මිය පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම