බටහිර පාර්ශ්ව චීනයට නගන අභූත චෝදනාවලට හේතුව චීනයේ දියුණුවයි
2023-03-31 10:23:27
Share with:

චීනයේ සංවර්ධනයට එරෙහිව ඇමරිකාව ඇතුළු බටහිර රටවල් දීර්ඝ කාලයක සිට ඉතා සූක්ෂ්ම ලෙස චෝදනා එල්ල කිරීමට හේතු ගණනාවක් පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ජ්‍යේෂඨ කථිකාචාර්ය ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පෙන්වා දෙයි. වාච්‍යමය තත්වයේ පටන් උණුසුම් ගැටුම්කාරී තත්වයන් දක්වා ඒවා වර්ධනය වන බව පෙනී යයි. එහිදී හඳුනාගත හැකි කරුණු අතර, පසුගිය වසර 20ක කාලය තුළ චීනය ආර්ථික හා සමාජමය වශයෙන් ප්‍රබල ලෙස සංවර්ධනය වීම එක් හේතුවකි. සංවර්ධන වේගය ක්‍රමාණුකූලව වසර කිහිපයක් සියයට 10කට වැඩියෙන් පවත්වාගෙන ආ ලෝකයේ එකම රට චීනයයි. ඇමරිකානු ආර්ථිකයට මදක් පසුපසින් සිටියත් පසුගිය දශක එකහමාර තුළ ඇමරිකාව අභිබවා භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේ ක්‍රය ශක්තිය අතින් චීනය පළමු තැනට පැමිණ තිබේ. 

එමෙන්ම වසර දෙසීයක පමණ කාලයක් ආර්ථික ආධිපත්‍ය රදවාගෙන සිටි ඇමරිකාව 80-90 දශක වන විට ක්‍රමයෙන් වෙනස් වෙමින්, අඩපණවෙමින්, මන්දගාමී වෙමින් පවතී. 21 වන සියවස වන විට එම හැකියාව චීනය අත්පත් කර ගැනීම බටහිර රටවලට දරාගත නොහැකි තත්ත්වයක් වී තිබේ. වෙළඳ ගෝලීයකරණය සියතට ගෙන සිටි ඇමරිකාවට 90 දශකයෙන් පසු අභියෝගයක් වූයේ චීනයේ ‘එක් මාවතක් එක් තීරයක්’ වැඩසටහනයි. චීනය මෙම වැඩසටහන යාවත්කාලීන කරමින් දියත් කිරීමත් සමග බටහිර රටවලට වෙළඳ ආධිපත්‍යය බිඳවැටිණ. මේ හේතුවෙන් චීනයට එරෙහි අහේතුක අවලාද වර්ධනය විය. තාක්ෂණික වශයෙන් චීනය ලබා ගෙන ඇති ජයග්‍රහණ ද මෙම විරෝධයන්ට හේතුවක් වී ඇතැයි ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පෙන්වා දෙයි. මේ හේතුවෙන් භූදේශපාලනික වශයෙන්ද චීනය ස්ථාවරව විශාල වශයෙන් සක්‍රීය වෙමින් පවතී.

චීන ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා මුණගැසීමත්, ඔවුන් අතර පුළුල් සහ සංවර්ධනාත්මක සහයෝගීතා ගිවිසුම්වලට ප්‍රවේශ වීමත් බටහිර රටවලට දරාගත නොහැකි තත්වයක් වී තිබේ. බටහිර මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ එම ඓතිහාසික හමුවට ප්‍රචාරයන් ලබාදීමද සීමාවනු දක්නට ලැබිණ. මෙය චීන සංවර්ධනයට එරෙහිව දැකිය හැකි මෑතකාලීන බටහිර උදාහරණය බව ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම