චීන අනන්‍යතාව ආවේණිකයි - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ විශාඛා සූරියබණ්ඩාර
2023-03-17 08:33:35
Share with:

චීන අනන්‍යතාවට අභියෝග කළ හැකි කිසිදු රටක් ලොව නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ විශාඛා සූරියබණ්ඩාර මහත්මිය පවසයි. චීනය ලෝකයේ ප්‍රබල සංකේතයක් බවට පත්ව තිබේ. මේ නිසාම ලොව සිටින ඇතැම් නාමික බලවතුන් මෙන් නොව චීනය සැබෑ ප්‍රායෝගික බලවතෙකු ලෙස ඉස්මතු වන බව ද ඇය පෙන්වාදෙයි.

තමන්ට අනන්‍ය වූ පාලන ක්‍රමවේදයක් ඔස්සේ අත්පත් කළ සාර්ථකත්වය නිසාම චීනය ලොව දැවැන්තයෙකු බවට පත්විය. 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ඉකුත් දිනවල සාර්ථකව පැවැත්වුණේ චීනය පුරා නියෝජිතයන් 3000 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙනි. මෙවන් අවස්ථාවක චීනය පිළිබඳව අදහසක් පළකරන්නට ලැබීම භාග්‍යයක් ලෙස සලකන බව ද සූරියබණ්ඩාර මහත්මිය කියාසිටී.

වර්තමානයේ ලොව අතිශය සංවර්ධනීය තත්ත්වයක පසුවන චීනයෙන් උගත හැකි පාඩම් බොහොමයක් ඇත. චීනය තමන්ට ගැලපෙන පාලන ක්‍රමවේදයක් වෙනුවෙන් විවිධ අත්හදාබැලීම් සිදුකළ අතර, එතුළින්ම සාර්ථකත්වය අත්පත් කර තිබේ. කවර විවේචන එල්ල වුවත්, චීනය තමා සතු මහානර්ඝ ශක්තිය හැකියාව ඔස්සේ ලොව ප්‍රමුඛ පෙළට පැමිණ ඇත්තේ නායකයන් හා සමසමව එරට මහජනතාව කළ කැපකිරීම් නිසාය.

චීනය මහා ඉතිහාසයකට හිමිකම් කියන රටකි. ඔවුහු ලොව පුදුම හතෙන් එකක් වන චීන මහා ප්‍රාකාරය වැනි විස්මිත නිර්මාණ තැනූහ. තමන් කරන කියන දේ පිළිබඳ ලොවට අඬබෙර නොගසන චීනය එනිසාම නිහඬ මකරෙකු ලෙස ද හැඳින්වෙයි.  

චීනය මෙවර සැසිවාරයේ දී තම රටේ නව නායක මණ්ඩලය පත්කළ අතර ඉදිරි වසර සඳහා නිසි සැලසුම් සහිත රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළේය. විවිධ ආණ්ඩු යටතේ නිතර ප්‍රතිපත්ති වෙනස්වන අප රට වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට මින් මනා ආදර්ශයක් සැපයෙයි.

පසුගිය වසංගත කාලයේ දී ඇමරිකාව, ඉන්දියාව හා යුරෝපා රටවල් මෙන්ම චීනය ද ඉතා විශාල අර්බුදයකට මුහුණ පෑවේය. නමුත් එම රටවල් හා  සැසඳීමේ දී දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ චීනය එම ගෝලීය අභියෝගය ජයගත්තේය.

කෘෂිකර්මාන්තය සහ බෝග වගා තාක්ෂණයන් අතින් ද චීනය විශිෂ්ට සංවර්ධනයක් සාක්ෂාත් කර සිටී. වගාවන් සඳහා ඉහළ පහසුකම් සහිත හරිතාගාර, ඩ්‍රෝන යානා, බුද්ධිමය තාක්ෂණික මෙවලම් පවා ඔවුහු වර්තමානයේ යොදාගනිති. ශ්‍රී ලංකාව වැනි රටකට ඉන් සැපයෙන පණිවුඩ රැසකි.

දූෂිත නොවූ නිලධාරීන්, නීතියේ ආධිපත්‍යය, රාජ්‍ය පාලනයේ දී ගන්නා නිවැරදි තීරණ,  කිසිදු විටක ඉලක්ක සහ අරමුණුවලින් බැහැර නොවන නායකත්වය චීනයේ සවිමත් පදනම යි. 2022 වසරේ අපමණ පසුබෑම් තිබිය දී ඔවුන් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් අත්පත් කරගත්තේ මේ සාර්ථකත්වයන් නිසාය. එසේම නගර හා උපනගර ආශ්‍රිතව මිලියන 12.5 ක පිරිසකට නව රැකියා අවස්ථා ද හිමි කර දී තිබේ. රටේ ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක සංවර්ධනය නැංවීමට චීන නායකයන් මෙන්ම ජනතාව කැපවී සිටීම ද ප්‍රශංසනීය වේ.

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ සාර්ථකත්වයට මෙන්ම චීනයේ ඉදිරි ගමනට හෘදයංගම ශුභාශිංසන පළ කරන බව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, නීතිඥ විශාඛා සූරියබණ්ඩාර මහත්මිය පවසයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම