මඩ පොහොර රැගත් නෞකාව දිවයිනට
2023-03-16 18:54:50
Share with:

වගා කන්න තුනකට පසු,  වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර රැගත්  MV INCE PACIFIC  නෞකාව අද (16) අලුයම කොළඹ වරායට පැමිණ තිබේ.

එමගින් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් මෙරටට රැගෙන විත් ඇති අතර, ඉදිරියේ දී තවත් මඩ පොහොර නෞකාවක් පැමිණීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහ USAID ආයතනවල දායකත්වයෙන් එම පොහොර ලබා දී තිබේ.

මෙරට ලක්ෂ 12 ක් වන සියලුම වී ගොවීන්ට මෙම මඩ පොහොර තොගය නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්දේශ කර ඇති පරිදි, හෙක්ටයාරයකට මඩ පොහොර කිලෝ 55 ක් බැගින් බෙදාහැරෙනු ඇත.

ඒ අනුව, වගා කන්න 03 කට පසු සියලුම පොහොර වර්ග එකවර ලැබෙන අවස්ථාව මෙවර යල කන්නය යි. මඩ පොහොර, යූරියා සහ බණ්ඩි පොහොර යන රසායනික පොහොර වර්ග තුනම මෙවර ගොවීන්ට ලබා දීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙම TSP පොහොර තොගය නිල වශයෙන් භාරදීම හා ගොවීන්ට බෙදාහැරීම ඇරඹීම ලබන 19 වැනිදා වත්තල කොමර්ෂල් පොහොර සමාගම් පරිශ්‍රයේ දී සිදුකෙරේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම