චීන කොමියුනිස්ට් පක්ෂය සහ විවිධ රටවල දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයට චීන ජනපතිගෙන් දේශනයක්
2023-03-15 21:03:05
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය සහ විවිධ රටවල දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයට චීන ජනාධිපතිවරයා සහභාගි වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා අද (15) බෙයිජිංහි එම සංවාදයට වීඩියෝ ආකාරයෙන් සහභාගි වෙමින් වැදගත් දේශනයක් පැවැත්වීය.

නවීකරණයේ අවසාන ඉලක්කය වන්නේ මිනිසාගේ නිදහස් හා සමස්ත සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. දේශපාලන පක්ෂ, ජනතාවගේ යහපත් ජීවිතය මෙන්ම ජනතා අපේක්ෂා වෙනුවෙන් උත්සාහ දැරිය යුතුය. ශිෂ්ටාචාරය සහ දියුණුව මිනිසුන්ගේ ආශාවට අනුකූල විය යුතු අතර මානව සමාජයේ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බව ද හෙතෙම සඳහන් කරයි.

නවීකරණය ඉටු කිරීමට උත්සාහ දැරීමේදී සියලු රටවල් සමගිය හා පොදු වර්ධනය පිළිබඳ සංකල්පයෙහි එල්බ සිටිමින් පොදුවේ සංවර්ධනය කිරීම හා පොදුවේ ජයග්‍රහණ බෙදාගැනීම පිළිබඳ ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

අනුන්ගේ පහන නිවා දැමීමට උත්සාහ කිරීමෙන් තමාට වැඩි ආලෝකයක් හිමිවන්නේ නැත. එසේම, අනුන්ගේ මාර්ගයට බාධක දමන්නේ  නම් තමාටත් දුර ගමනක් යා නොහැකි බව වටහාගත යුතු යැයි ද ඔහු විග්‍රහ කර ඇත.

චීන පන්නයේ නවීකරණය ස්වකීය ජාතික තත්ත්වයන් මත පමණක් නොව අනෙකුත් රටවල අත්දැකීම් ද උකහා ගන්නා බව ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. ඓතිහාසික සංස්කෘතියේ උරුමය කියාපානු පමණක් නොව නවීන ශිෂ්ටාචාරය ද ඒකාබද්ධ කරන චීන පන්නයේ නවීකරණය ලෝකයේ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කරන අතර,  මානව ප්‍රගතිය සහ ලෝක සහජීවනය සෙවීමට චීනයට ඇති එකම මාර්ගයයි.

චීන කොමියුනිස්ට් පක්ෂය ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය පවත්වා ගැනීමටත්, ලෝක සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමටත් කැප වනු ඇතැයි ද ෂී ජින් පිං මහතා පෙන්වා  දුන්නේය.

විවිධ ශිෂ්ටාචාර අතර අන්‍යොන්‍ය ප්‍රවේශ හා සහජීවනය මානව සමාජයේ නවීකරණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කොට ලෝකයේ ශිෂ්ටාචාර සමෘද්ධිමත් කිරීම සඳහා අනභිභවනීය කාර්යභාරයක් ඉටු කරන බව ෂී ජින් පිං මහතා පෙන්වා දී තිබේ. මෙහිදී ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යෝජනා කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ද හෙතෙම කියා සිටියේය.

මානවයන්ගේ පොදු වටිනාකම් ප්‍රවර්ධනය කළ යුතු බවත්  සාමය, සංවර්ධනය, සමානත්මතාව, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය, ස්වාධීනත්වය යන්න විවිධ රටවල ජනතාවගේ පොදු අභිලාෂය බවත් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි.

ශිෂ්ටාචාරාත්මක උරුමය හා නිර්මාණශීලිත්වය පොදුවේ ඉදිරියට ගෙනයමින් විවිධ රටවල ‍ඉතිහාසයේ හා සංස්කෘතියේ නූතන වටිනාකම පූර්ණ වශයෙන් ගවේෂණය කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.

 ශිෂ්ටාචාරාත්මක දියුණුව ළඟා කර ගැනීම සඳහා, ජාත්‍යන්තර මානව සංස්කෘතික හුවමාරු හා සහයෝගතා පුළුල් කරමින් ගෝලීය ශිෂ්ටාචාර අතර සංවාද හා සහයෝගතා ජාලයක් ගොඩනැගීමටත් උත්සාහ කළ යුතු බව ද ඔහු අවධාරණය කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂය  අන් රටවල දේශපාලන පක්ෂ සහ දේශපාලන සංවිධාන සමඟ විවිධ හුවමාරු සඳහා කැමති බව ෂී ජින්පිං මහතා පවසයි. එමගින් නවීන ආකාරයේ දේශපාලන පක්ෂ සබඳතාවක් ඇති කරගනිමින් නව ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගෙන, ගෝලීය දේශපාලන පක්ෂ හවුල්කාරිත්වයන් වැඩිදියුණු කිරීම ඔස්සේ ගෝලීය හවුල්කාරිත්වය ශත්තිමත් කරනු ඇතැයි ද ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම