ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ සංවර්ධන දැක්මේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය ආර්ථිකය තුළ ප්‍රබල ස්ථානයක් චීනයට හිමි වී ඇත - මහාචාර්ය ශාන්ත ගම්ලත්
2023-03-15 09:42:03
Share with:

පසුගියදා අවසන් වූ චීනයේ වාර්ෂික ජාතික සැසිවාර දෙක වෙනුවෙන් සහ ජනාධිපති ලෙස ඒකමතික ඡන්දයෙන් පත් වූ ෂී ජින්පිං මහතාටත්, පත් වූ නව ප්‍රධානීන්ටත් විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයෙක් ලෙස පමණක් නොව චීන මහජන සමූහාණ්ඩුවේ අධ්‍යාපනය ලබා දැනට විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන තමන් උණුසුම් සුබ පැතුම් පිරිනමන බව, ශ්‍රී ජයවර්ධනයපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්ය ශාන්ත ගම්ලත් මහතා පවසයි.

චීනය 21 වැනි සියවසේ ගෝලීය ආර්ථිකය තුළ ඉතාමත් තීරණාත්මක සාධකයක් බවට පත්ව තිබේ. එපමණක් නොව ලොව විශාලතම දෙවන ආර්ථිකයට හිමිකම් කියන චීනය, වසර 2020 දී ලෝක බැංකු වාර්තාවට අනුව ගෝලීය ආර්ථිකයට දැක්වූ දායකත්වය ඩොලර් ට්‍රිලියන 14.7 කි. දීර්ඝ කාලයක පටන් විශාල පරිවර්තනයන්ට ලක් වෙමින්, විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් විශේෂයෙන්ම 70 දශකයෙන් පසු ඔවුන් විශාල ආර්ථික ප්‍රගතියක් අත් කර ගෙන සිටී. ෂී ජින්පිං ජනාධිපතිතුමාගේ සංවර්ධන දැක්මේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය ආර්ථිකය තුළ ප්‍රබල ස්ථානයක් චීනයට හිමි වී ඇත. ඔවුන්ගේ දුර දැක්ම, දිගු කාලීන වැඩපිළිවෙල සහ චීන පස් අවුරුදු ප්‍රතිපත්තිය මෙයට බෙහෙවින් බලපා තිබේ. ඔවුන් සෑම විටම ක්‍රියාත්මක වූයේ එම ප්‍රතිපත්ති රාමුව තුළ පමණි. බිලියන 1.4ක ජනගහණයක‍ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අදාළ එම යෝජනා ඇතුළත් ඉතාම වැදගත් සැසිවාර දෙක තුළ මෙවර ද ඔවුන් චීනයට පමණක් නොව ගෝලීය වශයෙන් ඉතාමත් වැදගත් යෝජනා රැසක් සම්මත කරගෙන ඇතැයි මහාචාර්ය ශාන්ත ගම්ලත් මහතා කියා සිටී.

ආනයන සහ අපනයන ක්ෂේත්‍රවල ස්ථාවරත්වය හා ගුණාත්මකභාවය ඉහළ නංවාගෙන ජාත්‍යන්තර අයවැය මූලික වශයෙන් සමබර මට්ටමක පවත්වා ගැනීමට මෙම සැසියේදී තීරණය කොට තිබේ. කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් ලෙස තවදුරටත් ඉදිරි ධාන්‍ය නිෂ්පාදන ප්‍රමාණය‍ ටොන් මිලියන 650කට වඩා වැඩි අගයක් කරා ළඟා වීමට චීන ආර්ථිකය අපේක්ෂා කරයි. 2023 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක වර්ධනයක් අපේක්ෂා කෙරෙන බව සැසිවාරයේදී කාර්ය සාධක වාර්තාවේ දැක්වීය. මේ සියළු කාරණා චීන ආර්ථිකයට පමණක් නොව සමස්ථ ගෝලීය ආර්ථික අවපාතයට ප්‍රධාන විසඳුමක් සපයන බවද පෙනෙන්නට ඇත. මීට අමතරව, ෆොසිල බලශක්ති පරිභෝජනය පාලනය කරමින්, තිරසර ජෛව පරිසර සුරක්ෂිතතාව නැංවීම ද මේ වසරේ චීනයේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක අතරට එක් වීම ගෝලීය හරිත පරිසර සංකල්පයට චීනයේ දායකත්වය කියා පානු ඇත.

චීනය සහ ශ්‍රී ලංකාව අතර රබල් සහල් ගිවිසුම සමග ඇරඹි මිතුදම හේතුවෙන් බොහෝ සබඳතාවන් ගොඩ නැඟී තිබේ. 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රස් සැසියේදී කලාපීය අඩු ආදායම්ලාභී  රටවලට චීනයේ සහයෝගය අවශ්‍යම මොහොතේ ඒ වෙනුවෙන් ඉදිරි වැඩපි‍ළිවෙලක් සකස් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද ශ්‍රී ජයවර්ධනයපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්ය ශාන්ත ගම්ලත් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම