නැවතත් වායු දූෂණ අවදානමක්
2023-03-14 14:26:50
Share with:

මෙරට බොහෝ ප්‍රදේශවල නැවත වරක් වායු දූෂණ තත්ත්වය තරමක් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මේ නිසා ඇතැම් පුද්ගලයන්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑ හැකි කාලගුණික තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත්,  මුහුණු ආවරණ භාවිතය මගින් එම තත්ත්වය මග හරවාගත හැකි බවත් එම සංවිධානය නිවේදනය කර තිබේ.

අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ නගරයේ එම අගය 149ක් ලෙස සටහන්ව තිබූ අතර, පසුගිය දින කිහිපයට සාපේක්ෂව කොළඹ නගරය තුළ අඳුරු පැහැ තත්ත්වයක් පැවතිණ.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 83ක අගයක් වාර්තා වී තිබුණ ද සෙසු සෑම දිස්ත්‍රික්කයක ම එම අගය සියය ඉක්මවා ගොස් තිබුණු බවත්, පුත්තලම නගරයේ එම අගය 149 ක්, ගාල්ල, කරාපිටිය සහ පොළොන්නරුව යන නගරවල එම අගය 143 ක් ලෙස වාර්තා වූ බවත් අදාළ නිවේදනයේ දැක්වෙයි.

වායු දූෂණ තත්ත්වය ඉහළ යාම දින කිහිපයකින් පාලනය වනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ, පරිසර ආරක්ෂණ අංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සංජය රත්නායක මහතා පවසයි.

මෙය බොහෝ විට වෙනත් රටක වායු දූෂණ තත්ත්වයක් නිසා ඇතිවූවක් මිස ලංකාව තුළ හටගත් තත්ත්වයක් නොවන බවත් ඔහු පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම