අයි.එම්.එෆ් අවසන් සාකච්ඡා මාර්තු 20 වැනි දා
2023-03-08 16:10:18
Share with:

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමරිකා ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමක් ලබා දීම සඳහා මූලික කාර්ය මණ්ඩල ගිවිසුම සමාලෝචනය කිරීමට එළඹෙන මාර්තු 20 වැනිදා විධායක කමිටුව රැස්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් මහතා පවසා ඇත.

එහිදී ශ්‍රී ලංකාවට ණය මුදල ලබා ගැනීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරත්තු වන බව ආර්ථික විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ.

විධායක කමිටුවේ න්‍යාය පත්‍රයට එහි සාමාජිකයන් අයිතම එකතු කරනු ලබන්නේ ඒ පිළිබඳ ක්‍රියා කිරීමට සුදානම් වූ පසුව පමණක් බව ද ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව තම සියලුම ප්‍රධාන ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබාගෙන අවසන් බවත්, ඒ හේතුවෙන් කාර්ය මණ්ඩල ගිවිසුම විධායක කමිටුව වෙත සමාලෝචනය කිරීම සඳහා ඉදිරිපත් කරන බවත් ශ්‍රීනිවාසන් මහතා ප්‍රකාශ කර තිබේ.

විධායක කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු අනෙකුත් ණය හිමියන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ශක්තියක් වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම