චීන බලධාරීන්ගේ දූරදර්ශීභාවය යළි පිළිබිඹු කරන එරට ‘රාජ්‍ය කාර්ය වාර්තාව’
2023-03-08 09:30:19
Share with:

මෙවර චීනයේ වාර්ෂික සැසිවාරයේ රාජ්‍ය කාර්ය වාර්තාවට එරට ආර්ථීක සංවර්ධනයේ ප්‍රධාන ඉලක්ක රැසක් අන්තර්ගත කිරීමෙන් චීන බලධාරීන්ගේ දූරදර්ශීභාවය යළිත් පිළිබිඹු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා කියාසිටී.  

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ දී රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යං මහතා කියාසිටියේ, 2023 වසරේ චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක වර්ධනයක් අපේක්ෂා කරන බවයි. මෙය රටක ආර්ථික ස්ථාවරත්වය සඳහා බලපාන වැදගත් සාධකයකි. මේ වසර පුරා මෙම ඉලක්කය සපුරා ගැනීම උදෙසා චීනය කැපවනු ඇත.

එසේම රැකියා නියුක්තිය මෙහිදී අවධානය යොමුව ඇති ප්‍රධාන කරුණකි. නාගරික ප්‍රදේශවල රැකියා අවස්ථා මිලියන 12 ක් දක්වා වැඩිකරමින්, විරැකියා අනුපාතය 5.5% ක් පමණ අඩු මට්ටමක් දක්වා පාලනය කිරීම මේ වසරේ සංවර්ධන අපේක්ෂා අතර වේ. රටක සංවර්ධනය යනු එම රටේ ජනතාව පොහොසත් වීම බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බොහෝ අවස්ථාවල අවධාරණය කරන අදහසකි. රැකියා නියුක්තිය යනු සමාජ ආර්ථික සංවර්ධන සංරචක අතර ප්‍රධාන අංගයක් වේ. ඒක පුද්ගල ආදායම නැංවීම, සමාජ ආර්ථිකයේ යහපැවැත්ම හා රැකියා නියුක්තිය යනු එකිනෙක වෙන් කළ නොහැකි කරුණු ය. ඒ අනුව, රටක සමස්ත සංවර්ධනය යනු විවිධ සාධක රැසක් එකට බැඳුණු ජාලයකි. චීනය සෑමවිටම උත්සාහ ගන්නේ එම අන්තර් සම්බන්ධිත ජාලය නොබිඳී ස්ථාවරව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බව උද්දික ප්‍රේමරත්න මහතා පෙන්වාදෙයි.  

මෙවර චීනයේ වාර්ෂික රාජ්‍ය කාර්ය වාර්තාවේ දැක්වෙන ආකාරයට ඉකුත් වසර පහක කාලය තුළ චීනයේ භාණ්ඩ ආනයන සහ අපනයන නිමැවුම යුවාන් ට්‍රිලියන 40 ඉක්මවා ඇත. විදේශ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සහ විදේශ රටවල ආයෝජනය කිරීම අතින් ප්‍රශස්ත තත්ත්වයක් හිමි චීනය ලොව ඉහළම පෙළේ පසුවෙයි. දරිද්‍රතාවය තුරන් කිරීම, විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනය සහ පරිසරය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද චීනය ඵලදායී ප්‍රතිඵල අත්කර ගෙන ඇත. රටක සංවර්ධනය උදෙසා අවශ්‍ය සියලු අංශ කෙරෙහි චීනය දක්වන සියුම් අවධානය මෙමගින් මනාව සනාථ වී ඇතැයි ද මන්ත්‍රීවරයා කියාසිටී.

තිරසර ජෛව පරිසර සුරක්ෂිතතාව නැංවීම ද මේ වසරේ රටේ ප්‍රධාන සංවර්ධන ඉලක්ක අතරට ඇතුළත් කර තිබීම සුවිශේෂ කරුණකි. ස්වාභාවික සම්පත් හා ජෛව විවිධත්වය සුරැකීම සඳහා චීනය මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති වැඩසටහන්වලට ජගත් පැසසුම් හිමිව තිබේ. අනාගත පරපුර උදෙසා ලෝකය රැකගැනීම මෙන්ම ස්වාභාවික ලෝකයේ යහපැවැත්ම කෙරෙහි චීනය දක්වන මේ ප්‍රමුඛතාව වෙනුවෙන් හෘදයංගම ප්‍රශංසාව පුදකරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී  උද්දික ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම