පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබාගැනීම සඳහා අරමුදලක් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දායකත්වයෙන් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානම් වෙයි. කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියාවල නිරත හා නිරතව සිටි අයගේ පවුල්වල සාමාජිකයන්ගේ සුබ සාධනය හා ආරක්ෂාව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ. මීට අමතරව, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුබසාධන අංශය මගින් පිළිකා රෝගීන් සඳහා ඖෂධ සැපයීමේ ව්‍යාපෘතිය ද මේ වසරේ දී ඇරඹීමට නියමිතය.
පිළිකා රෝගීන් සඳහා ඖෂධ සැපයීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පවතින විශේෂ ගිණුමට රුපියල් මිලියන පන්සියක් ලබාදීම නව ව්‍යාපෘතියේ ඉලක්කයයි. එහි පළමු තැන්පතුව ලෙස රුපියල් මිලියන සියයක මුදලක් විගමනික ප්‍රජාවගේ දායකත්වයෙන් ලබාදීමට කාර්යාංශ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. අරමුදලට අවශ්‍ය රුපියල් මිලියන 400 ක මුදල විදේශ රැකියා ක්ෂේත්‍රයේ නිරත සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ලබාගැනීමට අපේක්ෂිතය.