“චීනයට අවශ්‍ය දේ නිවැරදිව දන්නේ චීනය මිස බාහිර පුද්ගලයන් නොවේ” ප්‍රවීණ දේශපාලන විචාරක ජයන්ත හේවගේ
2023-01-15 14:46:11
Share with:

චීනයට අවශ්‍ය කුමක්දැයි නිවැරදිව දන්නේ චීනයම මිස බාහිර පුද්ගලයන් නොවන බව ප්‍රවීණ දේශපාලන විචාරක ජයන්ත හේවගේ මහතා කියාසිටී. ඔවුන් වසංගත පාලන ප්‍රතිපත්ති දැඩි කරමින් ඉතා අසීරු යුගය පසුකර ගත්තා සේම වසංගත පාලන ප්‍රතිපත්ති ලිහිල් කරන අවස්ථාවේ ද නිසි ලෙස රටේ කාර්ය පටිපාටිය මෙහෙයවා ගනු ඇතැයි හෙතෙම පෙන්වාදෙයි.

වසර තුනකට පෙර වසංගතය හටගත් අවස්ථාවේ චීනය දූරදර්ශීව ක්‍රියා කළ බව ලොවම දන්නා කරුණකි. වසංගතය පැතිර යාම වැළැක්වීමට කඩිනම් පියවර ගත් චීන බලධාරීහු ඊට විසඳුම් සෙවීමට ප්‍රයත්න දැරූහ. ඒවා තම රටට පමණක් සීමා වූ විසඳුම් නොවීම මෙහි දී කැපීපෙනෙන කරුණකි. සාම්ප්‍රදායික චීන ඖෂධ මෙන්ම නව පර්යේෂණ ඔස්සේ නිපදවන ලද එන්නත් ඇතුළු ඖෂධ ලෝකය සමග බෙදාගැනීමට චීනය පියවර ගත්තේය.

ගෝලීය අර්බුදයන්ට විසඳුම් සෙවිය යුත්තේ තනි තනිව නොවන බව චීනයේ වත්මන් නායක ජනාධිපති ෂී ජින්පිං මහතා සෑමවිටම අවධාරණය කරන කරුණකි. සමස්ත ලෝකයම පීඩාවට පත්වන මොහොතක පිල් බෙදී, අන්තවාදීව ක්‍රියාකිරීම කිසිසේත් ඵලදායී නොවනු ඇත.

ජනතාව සහ ජන ජීවිතයේ පැවැත්ම ගැන සිතා වසංගත පාලනයට පියවර ගැනීමේ දී ඇතැම් විට ආර්ථික වර්ධනයේ යම් අඩාල වීම් සිදුවුවත් චීනය එම අභියෝග මනාව කළමනාකරණය කරගත්තේ දිගුකාලීන දැක්මක් ඔස්සේ බව ද හේවගේ මහතා පවසයි. වර්තමානය වනවිට ඔවුහු ජනතා දිවිපැවැත්ම වැදගත් කොට සලකා එය සංවර්ධන උපායමාර්ග සමග සමතුලිතව පවත්වා ගනිමින් සියලු කාර්යයන් මෙහෙයවා ගැනීමට සමත්ව සිටිති.

ගෙවී ගිය වසර තුනක කාලයේ චීනය දැඩි පාලන ප්‍රතිපත්ති අනුගමනය කළේය. ඔවුන් එය ලිහිල් කරන්නේ වසංගතය කළමනාකරණය කරගත හැකි බවට පූර්ණ විශ්වාසයක් ඇති අවස්ථාවකයි. කෙතරම් විවේචන එල්ලවුවත් ඕනෑම අභියෝගකාරී අවස්ථාවක තම රටට අවශ්‍ය කුමක්ද යන්න නිවැරදිව වටහාගෙන ක්‍රියාකිරීම චීනයේ පිළිවෙත බව ප්‍රවීණ දේශපාලන විචාරක ජයන්ත හේවගේ මහතා පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම