ජන ජීවිත සුරක්ෂිත කරමින් වසංගත පාලනය නිසිලෙස මෙහෙයවන චීනය
2023-01-08 20:08:33
Share with:

චීනය අද(8) සිට නව කොරොනා වෛරස ආසාදනය ‘B වර්ගයේ බෝවන රෝග පිළිබඳ A මට්ටමේ’ සිට ‘ B මට්ටම’ දක්වා අවම කිරීමේ ප්‍රතිපත්තිය නිල වශයෙන් ක්‍රියාත්මක කරයි. එසේම චීනයට ඇතුළුවන පුද්ගලයන් හා භාණ්ඩ සඳහා නිරෝධායන නීති තවදුරටත් අනුගමනය නොකෙරේ. චීනය ආගමන හා විගමන වඩාත් පහසු කිරීම, චීන සංචාරකයන් මත යැපෙන ලොව පුරා රටවල් රැසකට ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයි බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

ගෙවීගිය වසර 3 තුළ, වසංගත පාලනය දැඩිව ක්‍රියාවට නංවා ඇති චීනය ලොව පැතිර ගිය කොවිඩ් රැලි 5කට නිසියාකාරයෙන් මුහුණ දී තිබේ. බරපතල රෝග ලක්ෂණ සහිත ආසාදනයන් හා මරණ එමගින් අඩුවීම කැපී පෙනේ. මේ වන විට චීනයේ සමස්ත ජනගහණයෙන්, එන්නත් තුනකින් යුත් පූර්ණ එන්නත්කරණය සපුරා ඇති අනුපාතය 90% ඉක්මවන අතර, රට පුරා ජනතාවට ලබා දී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව බිලියන 3.48 ඉක්මවයි. එමගින් ශක්තිමත් ප්‍රතිශක්තිකරණයක් සහතික කර තිබේ.

වත්මන් චීනය වසංගත වැළැක්වීම් හා පාලන ප්‍රතිපත්ති යළි සැකසීමේ කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටී. අදාළ ප්‍රතිපත්තිවල ස්ථාවරත්වය සඳහා, නිදන්ගත රෝග සහිත වැඩිහිටියන්, ගර්භනී කාන්තාවන් සහ ළමුන් යනාදී ප්‍රධාන පිරිස ආරක්ෂා කිරීමට චීන රජය පූර්ණ ශක්තිය යොදවා කටයුතු කරමින් සිටී. බරපතල රෝග ලක්ෂණ සහිත ආසාදනයන් හා මරණ අඩුකිරීමට මෙහිදී මහත් පරිශ්‍රමයක් දරනු ලැබේ. මේ නිසා, විද්‍යාත්මක තක්සේරු මත පදනම්ව, චීනයේ වසංගත තත්ත්වය මනාව පාලනය කළ හැකිවනු ඇත.

මෙම තත්ත්වයන්ට සාපේක්ෂව, ගතවූ වසර 3 තුනේ ඇමරිකානු රජය වසංගතයට සෘණාත්මකව මුහුණ දුන් අතර, ඇමරිකානු දේශපාලනඥයෝ ඡන්ද දිනාගැනීමේ සහ තමන් වෙනුවෙන් මුදල් ඉපයීමේ කටයුතුවල පමණක් කාර්යබහුලව සිටියහ. ඇමරිකාව මුහුණ දී ඇති වසංගත ව්‍යසනය ස්වාභාවික විපතක් පමණක් නොව, මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තිවල මෙන්ම දේශපාලන ක්‍රමයේ අසාර්ථකත්වය නිසාම මිනිසා විසින් සාදන ලද ව්‍යසනයක් බව පැවසිය හැකිය.

වර්තමානයේ, විවිධ වෛරස වර්ග ඇමරිකාවේ බහුලව පැතිර යන අතර, ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. එහෙත් ඇමරිකානු දේශපාලනඥයෝ තම රාජකාරි පැහැර හැරීම ගැන සිතාබැලීම වෙනුවට චීනයේ වසංගතය මැඩපැවැත්වීමේ ප්‍රතිඵල අපකීර්තියට ලක්කරමින්, එය අඛණ්ඩව දේශපාලනීකරණය කරමින් සිටිති. පදනම් විරහිත එවැනි කාර්යයන්  නිසැකවම අසාර්ථක වනු ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම