උදා වන 2023 නව වසරට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පිරිනැමූ සුබ පැතුම් පණිවිඩය
2022-12-31 20:10:34
Share with:

සහෝදරවරුනි, මිත්‍රවරුනි, නෝනාවරුනි, මහත්වරුනි,

ආයුබෝවන්! වසර 2023 නොබෝ වේලාවකින් උදා වේ. බෙයිජිං නගරයේ සිට මම ඔබ සැමට සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.

වසර 2022කේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය සාර්ථකව පැවැත්විණ. එහිදී, නවීකරණ සමාජවාදී රටක් සම්පූර්ණයෙන් ගොඩනගමින් චීන ලක්ෂණයෙන් යුතු නවීකරණයෙන් චීන ජාතිකයින්ගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවනය ඉදිරියට ගෙන යාම පිළිබඳ දැවැන්ත ඉදිරි දැක්ම සම්පාදනය කොට නව ගමනක් උද්‍යෝගිවත් ව ආරම්භ කරන බව ප්‍රකාශ කෙරිණ.

ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට  අඛණ්ඩව පත්ව සිටින චීනය ස්ථාවර හා විධිමත් ආර්ථික වර්ධනයෙන් යුවාන් ට්‍රිලියන 120ක දළදේශීය නිෂ්පාදිත වටිනාකමක් බිහි කිරීමට සමත් විය. ගෝලීය ආහාර අර්බුදය හමුවේ වුවද රටේ ධාන්‍ය අස්වැන්න වසර 19ක් පුරා අඛණ්ඩව වර්ධනය කිරීමට හැකි විය. චීන ජනතාවගේ ආහාර සැපයුම ස්ථිරව සහතික කර තිබේ. දරිද්‍රතාව පිටුදැකීමේ ජයග්‍රහණය තහවුරු කරමින් ග්‍රාමීය පුනර්ජීවන ක්‍රියාමාර්ගය මුළුමනින් ක්‍රියාත්මක කර ඇත. බදු හා පරිපාලන ගාස්තු අඩු කිරීම ඇතුළු විධිවිධාන, ව්‍යාපාරවලට දුෂ්කරතාවලින් නිදහස් වීමට සහාය වී තිබේ. ජනතාව‍ගේ හදිසි අසීරුතා හා කණස්සල්ලට ලක් ගැටළු නිරාකරණය කිරීමෙහි අපි නියැළී සිටියෙමු.

නව කොරොනා වසංගතය මතු වීමෙන් පසු සෑම විටම ජනතාව හා ජීවිතයට ප්‍රමුඛතා ලබා දීමේ මූලධර්මය මත අප කටයුතු කර ඇත. විද්‍යාත්මක, නිවැරදි, තත්ත්වයන්ට අනුකූලව කාලෝචිත ලෙස වසංගත පාලන ප්‍රතිපත්ති සකස් කිරීම හේතුවෙන්, ජනතාවගේ ජීවිත ආරක්ෂාව හා සෞඛ්‍යය උපරිම අන්දමට රැක ගැනිණ. වෛද්‍ය සේවකයින් ඇතුළු බිම් මට්ටමේ සේවකයින්ට, අසීරුතා මඟහැර ධෛර්යසම්පන්නව කැප වෙමින්, නොනවතින උත්සාහයෙන්, පෙර නොවූ විරූ අභියෝග රැසක් ජය ගැනීමට හැකි විය. සියල්ලන්ටම  අසීරුතාවන් දැනිණ. දැනට වසංගත පාලනය නව අදියරකට පිවිස තිබෙන නමුත්,  තවමත් දුෂ්කරතා පවතී. කෙසේවුවද ජයග්‍රාහී ආලෝකය දැකීමට හැකිය. තවදුරටත් සමගියෙන් කටයුතු කරමින් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව මේ සටනින් ජය ගැනීමට  වෑයම් දැරීමට මම ඔබ සැම දිරිගැන්වීමට කැමැත්තෙමි.

වසර 2022කේදී ජ්‍යං සේමින් මහතා අපෙන් සමු ගත්තේය. ඔහුගේ ශ්‍රේෂ්ඨ දායකත්වය හා උදාරබව සිහිපත් කරමින් ඔහුගෙන් ලද මහඟු මානසික ධනය අගය කරමු. ඔහුගේ අවසාන කැමැත්ත උරුම කර ගෙන චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී ව්‍යායාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපි එක්ව ප්‍රයත්න දරන්නෙමු.

ඉතිහාස ගංගාවේ මහ රැලි හමුවේ පාරම්පරික චීන ජනතාව වත්මන් චීනය නිර්මාණය කළහ.

වත්මන් චීනය, සිහින අඛණ්ඩව සැබෑ වූ චීනයකි. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල හා පැරාලිම්පික් උළෙල සාර්ථකව පැවැත්විණ. චීන අයිස් හිම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ආඩම්බර ලෙස ජයග්‍රහණ රාශියක් දිනා ගත්හ. ශෙන්චෞ 13, 14, 15 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානා, එකින් එක උඩු ගුවනට ගොස් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගීමට දායක විය. අපේම නිවහනක් අභ්‍යවකාශයේ පියාසර කරමින් තිබේ. චීන මහජන විමුක්ති හමුදාවේ 95වැනි උපන් දිනය සැමරිණ. හමුදාව බලවත් කිරීමේ ශ්‍රේෂ්ඨ ගමන මත අප හමුදා සාමාජිකයෝ උද්‍යෝගිවත්ව ඉදිරියට යමින් සිටිති. චීනයේ තුන් වන ගුවන්යානා ප්‍රවාහක නෞකාව වන ‘ෆූ ජියන්’, ජලයට දියත් කෙරිණ. ප්‍රථම C919 විශාල මගී ගුවන් යානාව භාරදීම හා ‘බයි හ ටන්’ ජල විදුලි බලාගාරය භාවිතයට ගැනීම සිදු විය. මේ සියල්ලටම අපමණ පුද්ගලයින්ගේ වෙහෙස හා දහඩිය කැප වී තිබේ. සුළු සුළු ගිනිවලින් මහ ආලෝකයක් බිහි කෙරේ. මේ, චීන ශක්තියයි!

වත්මන් චීනය, ප්‍රාණවත්භාවයෙන් සපිරි චීනයකි. විවිධ නිදහස් වෙළඳ කලාප, හයිනන් නිදහස් වෙළඳ වරාය සමෘද්ධිමත්ව වර්ධනය කෙරෙමින් පවතී. වෙරළාසන්න ප්‍රදේශ‍වල නවෝත්පාදන ධාරිතාව කැපී පෙනේ. මැද හා බටහිර ප්‍රදේශවල සංවර්ධනය කඩිනම් කෙරේ. ඊසානදිග චීනයේ පුනර්ජීවන ව්‍යායාමය ආරම්භ කෙරේ. මායිම් ප්‍රදේශවල සංවර්ධනයෙන් එහි වැසියෝ පොහොසත් වෙමින් සිටිති. මනා ශක්‍යතා, නම්‍යශීලිත්වය, සැඟවුණු හැකියාව, ප්‍රාණවත්භාවය පෙන්නුම් කරන චීන ආර්ථිකය සමස්ත වශයෙන් තිරසර යහපත් වර්ධන ප්‍රවණතාවක පවතී. දැඩි විශ්වාසයෙන් යුක්තව, ස්ථාවරත්වයට යොමු වෙමින් රට අඛණ්ඩව සංවර්ධනය කළහොත් අපේ නිශ්චිත  ඉලක්ක ඉටු වනු ඒකාන්තය. මෙම වසරේ මම හොංකොං විශේෂ පරිපාලන කලාපයට ගියෙමි. එම කලාපය නිසි පරිපාලනයෙන් සමෘද්ධිය කර‍ා ළඟාවන අයුරු දුටු මම සතුටු වූයෙමි. එක් රටක් ක්‍රම දෙකක් යන ප්‍රතිපත්තිය ස්ථීර ව මනා ලෙස ක්‍රියාත්මක කිරීමෙන්, හොංකොං හා මැකව් යන විශේෂ පරිපාලන කලාප දෙකේ තිරසර සමෘද්ධිය හා ස්ථාවරත්වය අඛණ්ඩව සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇත.

වත්මන්  චීනය, ජාතික ජීවගුණය ඉදිරියට ‍ගෙන යන චීනයයි. මෙම වසරේ, සිදු වූ භූමි කම්පා, ගංවතුර, නියඟය හා ලැව් ගිනි යනාදී ස්වාභාවික විපත් සහ ආරක්ෂක අනතුරු ජනතාවගේ කණස්සල්ලට හා කණගාටුවට හේතු විය. නමුත් තම සුරක්ෂිතතාව අතහැර අන්‍යෝන්‍ය ලෙස සහාය වීමේ දර්ශනයෙන් අප සංවේදී විය. ඉන් දක්නට ලැබුණු වීරයන්ගේ ක්‍රියාවන් අප සිත්වල සදාකාලීනව රැ‍‍ඳෙනු ඇත. පරණ අවුරුද්දට සමු දෙමින් නව අවුරුද්ද උදාවන සෑම අවස්ථා‍වකදී ම වසර දහස් ගණනක් පුරා  පැතිර ඇති චීන ජාතියේ එම ජීවගුණය සිහිපත් කළ හැකිය. ඉන් අ‍පගේ ඉදිරියට යාමේ විශ්වාසය තව තවත් ශක්තිමත් වී ඇත.

වත්මන් චීනය, ලෝකයට සමීපව සම්බන්ධ වන චීනයයි. මෙම වසරේ, මම බෙයිජිං නගරයේදී නව හා පැරණි මිතුරන් හමු වූ අතර විදේශ රටවලට ගොස් චීනයේ ස්ථාවරත්වය පැහැදිලි කළෙමි. සියවස් විපර්යාසය වේගයෙන් සිදු වෙමින් පවතිද්දී ලෝකය නොසන්සුන් ස්වභාවයක පවතී. අපි සැම විට ම සාමය හා සංවර්ධනය වැදගත් කොට සලකන්නෙමු. අපි සැම විට ම මිතුරන් හා හවුල්කරුවන් අගය කරන්නේමු. ඉතිහාසයේ නිවැරදි පැත්තේ හා මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිය වෙනුවෙන් පෙනී සිටින චීනය, මානව සාමය සහ සංවර්ධනය උදෙසා චීන ඥානය හා චීන විසඳුම් දක්වා ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික කොංග්‍රසයෙන් පසු මම සහ මාගේ සගයෝ යැන්ඇන් නගරයට ගියහ. එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව යැන්ඇන් කාලයේ ලෝකයේ දුලබව දැක ගත හැකි දුෂ්කරතාවෙන් ජය ගැනීමේ දීප්තිමත් යුගයක් යළි සිහිපත් කෙ‍රිණ. මා නිතරම පවසන දෙය නම්, අසීරුතාව හා දුක විඳීමෙන් සාර්ථකත්වය ලබා ගත හැකි බවයි. චීන කොමියුනිස්ට් පක්ෂය වසර සියයක් තුළ විවිධ අසීරුතාවන්ට මුහුණ දී ගැටළු විසඳා ගැනීමේ ක්‍රියාදාමය ‍කෙතරම් අසීරු මෙන්ම විශිෂ්ට ද! චීනයේ වඩා අපූරු අනාගතය සඳහා අප ධෛර්යවන්තව ඉදිරියට යා යුතුය. 

අනාගත චීනය, උත්සාහයන් ගෙන් පුදුමය නිර්මාණය කරනු ඇත. පැරණි චීනයේ  කවියෙකු වූ සූ ෂී මහතා මෙලෙස පවසා තිබේ: “වඩාත්ම දුෂ්කර ස්ථානය වෙත උත්සාහ දරා වඩාත්ම විශිෂ්ට අරමුණ ඉටු කර ගත හැකියි”. ඉලක්කය කෙතරම් දුර වුවද ස්ථීරව ඉදිරියට ගමන් කළහොත් එහි ළඟා විය හැකිය. කාර්යයන් දුෂ්කර වුවද නොනවත්වා ප්‍රයත්න දැරියහොත් සාර්ථක කර ගත හැකිය. එසේම අධිෂ්ඨානය සහිතව ස්ථීරව පියවරෙන් පියවරට කටයුතු කළහොත් අනිවාර්යයෙන් විශිෂ්ට ඉලක්කය අපූරු සත්‍යයක් බවට පත් කළ හැකිය.

අනාගත චීනයේ ශක්තිය පැමි‍ණෙනු ඇත්තේ සමගියෙනි. චීනය මෙතරම් විශාල බැවින් සෑම ජාතිකයෙකුටම අසමාන ඉල්ලුම් තිබේ. එසේම සමාන සිදුවීමක් කෙරෙහි අසමාන සංකල්පයක් තිබේ. එය සාමාන්‍ය දෙයකි. පොදු එකඟතාවට පැමිණීම සඳහා සාකච්ඡා මගින් පොදු අදහස් එක්රැස් කර ගත යුතුය. කෝටි 140ක චීන ජාතිකයන්ගේ සිත් හා ශක්තීන් එකතු වී පොදුවේ කටයුතු කළහොත් සාක්ෂාත් කළ නොහැකි දෙයක් නොමැති අතර විසඳා ගත නොහැකි දුෂ්කරතාවක් ද නොමැත. තායිවාන සමුද්‍ර සන්ධි ‍දෙපසේ චීන ජාතිකයන් එකම පවුලක සාමාජිකයන්ය. සමුද්‍ර සන්ධි දෙපසේ ස්වදේශිකයන් අත්වැල් බැඳ ගෙන එකම දිශාව දෙස ඉදිරියට යමින් පොදුවේ චීන ජාතිකයන්ගේ තිරසර සුභ සෙත සැලසීම මාගේ හෘදයාංගම අපේක්ෂාවය.

අනාගත චීනයේ, යෞවනයන් මත බලාපොරොත්තු රඳා පවතී. යෞවනයන් මනාව වර්ධනය කළහොත් ජාතිය සෞභාග්‍යවත් වනු ඇත. චීනයේ සංවර්ධනයට යෞවනයන් ගේ  කැපවීම අවශ්‍යයය. තරුණ-තරුණියන් ප්‍රාණවත් ශක්තියෙන් සහ අපේක්ෂාවෙන් සපිරි පිරිසකි. යෞවනයන්, තාරුණ්‍යය අගය කර පවුල් හා ජාතිය කෙරෙහි ගැඹුරු හැඟීමක් සහිතව අනාගතය සඳහා උත්සාහයෙන් කටයුතු කළ යුතුය.

මෙම මොහොතේ බොහෝ පුද්ගලයෝ වෙහෙස මහන්සි වී කැපකිරීම් සිදු කරමින් සිටිති. ඔවුන්ට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු. නව වසරේ ඝාණ්ඨාරය තව හෝරා කිහිපයකින් නාද වෙයි. අපි අනාගතය කෙරෙහි අපූරු අපේක්ෂාවන් සහිතව 2023 වසරේ පළමු හිරු එළිය පොදුවේ පිළිගනිමු. රට සෞභාග්‍යවත් වේවා. ජනතාව සාමයෙන් හා සුසංගතයෙන් ජීවත් වේවා. ලෝක සාමය, අපූර්රත්වය, සතුට හා සන්සුන් බව රැ‍ඳේවා. ඔබ සැමට සුබ නව වසරක් වේවා. සියලුම අපේක්ෂාවන් ඉෂ්ට වේවා. ස්තූතියි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම