වසංගත පාලනය සහ ගෝලීය ආර්ථික සංවර්ධනය කෙරෙහි චීනයේ අවධානය ප්‍රශංසනීයයි
2022-12-29 14:15:50
Share with:

ගෝලීය පද්ධතිය තුළ බිඳ වැටුණු සමාජ, ආර්ථික රේඛාව යළි ඉහළට ඔසවන්නට නම් ආයෝජකයින් තම රටවල් කරා රැගෙන ඒමටත් අපනයනය සහ දේශීය නිෂ්පාදන ඉහළ නංවා ගැනීමටත් සියළුම රටවල් අඛණ්ඩ උත්සාහයක යෙදිය යුතුය. ජාත්‍යන්තර ප්‍රජාවේ වගකිව යුතු සාමාජිකයෙකු ලෙස, චීනය ආර්ථික සංවර්ධනය මෙන්ම ජනතා මෙහෙවර වෙනුවෙන් අඛණ්ඩව සිය කැපවීම පෙන්නුම් කර ඇතැයි නීතිඥ සංඛ ප්‍රබුද්ධ මහතා පවසයි.

2023 වසරේ මැද භාගයේ සිට චීනය 5%ක පූර්ණ වාර්ෂික වර්ධනයක් අත්කර ගනු ඇතැයි ආර්ථික විශේෂඥයින් මත පල කර තිබේ. එම වසරට අදාළ ආර්ථික කටයුතු සැලසුම් කිරීම වෙනුවෙන් පැවති විශේෂ රැස්වීමකදී ප්‍රකාශ කෙරුණේ චීනයේ වසංගත ප්‍රතිපත්ති ලිහිල් කිරීමටත් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් අවධානය යොමු කරන බවය. ඒ අනුව වසර 3ක පමණ කාලයක සිට ලෝ පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගත පාලන නීති රීති ලිහිල් කරමින් සමාජය විවෘත කිරීමේ පියවරක් මේ වන විට චීනය අනුගමනය කරමින් සිටී. එය මේ අවස්ථාවේ චීනය විසින් ගත් ඉතා වැදගත් තීරණයක් බව සංඛ ප්‍රබුද්ධ මහතා සදහන් කළේය.

වසංගතයෙන් වසර තුනකට පසු චීනය එවැනි පියවරක් අනුගමනය කරන්නේ වෛද්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම, නව ප්‍රභේද පාලනය සහ ජනගහනයෙන් 90%කට අංගසම්පූර්ණ එන්නත් ලබා දී පූර්ණ අධීක්ෂණයකින් පසුවය. ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ප්‍රධාන ආයතනයන්හි බලධාරීන් ජාත්‍යන්තර සැපයුම් දාමයන් ඉහළ නැංවීමටත් ගෝලීය වර්ධනය ශක්තිමත් කිරීමටත් අඛණ්ඩව අපේක්ෂා කර සිටී. එවැනි තත්ත්වයක් තුළ චීනය වසංගත පාලන ප්‍රතිපත්ති ලිහිල් කරමින් සමාජය සාමාන්‍යකරණයට ලක් කිරීමට ගත් පියවර කාලෝචිත බව ඔහු කියා සිටී.

කෙසේ වෙතත් ලොව පුරා වසංගතය අවසන් වී නොමැති බවත්, වෛරසයේ ස්වභාවය සහ බරපතල බව අවම වී ඇති බවත් අවබෝධ කර ගත යුතු කරුණකි. ජාත්‍යන්තර ප්‍රජාවේ වගකිව යුතු සාමාජිකයෙකු ලෙස චීනය මේ අවස්ථාවේ වසංගතයට එරෙහි ගෝලීය සටනට උරදෙමින්, ගෝලීය ආර්ථිකය ඉහළ නැංවීමට දක්වන දායකත්වයද අගය කළ යුතු බව නීතීඥ සංඛ ප්‍රබුද්ධ මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම